Followers

Wednesday, August 29, 2012

ඔබ ලැබුනෙන් මා පින් කල බව දැනුනී....



අපි දෙන්නා හමු උනේ අහම්බෙන්....අහම්බෙන් ඇති උනු මිතුරුකම මාස 03ක් වගේ කෙටි කාලෙකින් "විවාහය"දක්වාම දුර ගියා....
අපි දෙන්නම ආදරයේ වේදනා ඇති පමණින්  විඳ තිබුණු  හින්දම ඉක්මනින් අපි අපේ වෙන්නම අඩි තාලම දැමුවා....මම නම් ඔබේ ඒ අදහසට එකපයින් කැමති උනේ ඔබව මට නැතිවේයි කියල හිතට දැනුනු හන්දාද මන්දා.....
ඔබෙන් මම දැකපු උතුම් ගතිගුණ වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ඇත්තටම ඔබ  අහිංසකයි...දැන් දැන් මට තෙරෙන විදිහට නම් අහිංසක කමක් ගෑවිලාවත් නැති මාව මේ තරම් සුවච කීකරු බිරිදක් කරගත්තෙ ඔයාගෙ ඉවසීමයි අහිංසක කමයි කියල.ඇත්තටම මට එක වචනෙකින් වත් ඔබට රිද්දන්න හිත දෙන්නෙම නෑ....
 ඔයත් මාව වචනෙකින්වත් රිද්දන්නෙ නෑ....හුඟක් දේ හිතේ දරාගෙන හිත රිදුනත් මගෙ වචනෙකට හරි ඒ වෙනස්වීම මට නොපෙන්වා හැමදාම එකවගේම ආදරේකින් ඉන්න ඔයා ලැබීමට මම වාසනාවන්ත උණා

අපේ අම්මාට..අප්පච්චීට ඔයා හොඳ පුතෙක්...අම්මා මටත් වඩා ආදරේද කියලත් මට වෙලාවකට හිතෙනවා....මගේ නියම චරිත ස්වභාවය( ගෙදර ඉන්න කාලෙදි ) දන්න අප්පච්චි හැම වෙලාවෙම කියන්නෙ ඔයා ඔය ලමයට බනින්නෙ එහෙම නෑ...ඔන්න මම නරකයි කියල කියන්න එපා කියල....එයාලා දන්නෙ නෑ මම දැන් කොයිතරමට වෙනස් වෙලාද කියල...............................

අපේ අම්මා කිවේ ...ඒ ළමයගෙ හිත මලක් වගේ ඔයා ඒක තලල දානව එහෙම නෙවේ කියල.......

කවුරු මොනව කීවත්....මට පුදුම මම වෙනස් උන එක ගැන....මගේ යාළුවො විස්වාස කරාවිද මන්දා.....දඩබ්බර අදහස් තිබුනු  මම මෙහෙම වෙනස්වෙලා  කියලා....

මගේ අහිමි උන ආදරයෙ දෙවසර සිහිකිරීමට දානයක් දෙන්න ඔබට පුළුවන් හැමදේම ඒ වෙනුවෙන් කලා..ඒ විතරක්ද ඔහුගේ දෙමව්පියන්ගේ සහොදරියගේ දුකසැප පවා සොයා බලන්න ඔහුගෙ නිවසට යන්න මාත් එක්ක එකතු උනා....අහිමි ආදරෙට මගේ ඇහින් කඳුලක් වැටෙද්දිත් ඒ කඳුල ඉවසන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බා.....

මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියල....ඇත්තටම ඔයා ලබන්නත් මම පින් කරල ඇති.......අපි දෙන්න අපේම වෙලා අවුරුද්දක් නොදනිම ගෙවිල.................අපි දෙන්නටම සුභ විවාහ සංවත්සරයක් වෙවා

 ප/ලි- ඉහලින් තියන පිංතූරෙ අපි දෙන්නා තනියම සමරපු  පළමු විවාහ සංවත්සරයෙ කේක් එක.....ලස්සනයි නේද ??

Monday, August 27, 2012

අතීත මතක.................




ගම .....මා ඉතා ආශා කරන මාතෘකාවකි.කුරුණෑගලින් බොහෝ දුර හද්දාපිටිසර උදයට සහ හවසට එකම බසයක් ධාවනය වුනු එහෙත් අති සුන්දර ගමක විසූ අප  කාලය ගතවීමෙන්  පියාගේ ගම හැරදා නාගරීකරනය වූ මවගේ ගමට පැමිණියෙමු...නමුත් මට එහි වසර 15 ක පමන අතීතයක් ඇත...

 නගරයේ පාසැලකට එවකට එම ගමෙන්ම ගියේ මා පමණකි.(පසු කලෙකදී එය වෙනස් වුවත් ) නමුත් අසල්වැසි ගමේ කීප දෙනෙක් නගරයේ විවිධ පාසැල් වලට ගියෝය. පුරා වසර 10 ක පමණ කාලයක්ම මා පසැල් ගියේ "පාසැල් සේවය" වෑන් රථයකිනි.
අමතර පංති තිබු දවසට එය වෙනස් වේ... අප්පච්චී නිවසේ නොසිටින තැන සැතපුම් 04 ක් පමණ දුරක් ඇවිද යාමට සිදු වේ..එදවස එය මට එපා කරවන්නක් වූවත් මිතුරියක් හමු වූ විට රටේ ඇති සියළු දේ කතාකරමින් පුරා පැයක් පමණ ගත කරමින් නිවෙස් කරා ඇවිද එන්නෙමු.එන අතර මගදී කවුරුන් හෝ අදුනන කෙනෙක් අපට බයිසිකලයක නැග නිවසට යන්නට කථා කරන විරල අවස්ථාද විය.


 අම්මා ගමේ පාසැලේ ඉගැන් වූ නිසාත්,අප්පච්චී  අසල්වැසි ගමේ ගම්මුලාදෑනියා වී නිසාත් මම නොදත් නමුත් මා දන්නා පිරිස අහල ගම් හත තුලම විය.එමෙන්ම අම්මාගේ මුහුණුවරට ඉතා සමානව තිබූ මගේ මුහුණුවර මට අවාසි සහගත එකක් වූයේ සෑම තැනදීම මා හැඳින ගැනීමට තිබූ ප්‍රබල සාධකයක් වූ බැවිනි...

වරක් මා උසස් පෙළ අවදියේ අමතර පංතියකට ගොස් එනවිටදී අහඹු ලෙස  http://muthupabaluwal.blogspot.com.au/2011/10/blog-post_11.html. කථානායක මගේ මිතුරා මගදී හමු විය.පාසැල් නිල ඇඳුමින්  සිටිනිසාත් මග තොට කතා කීරීම නුසුදුසු නිසාත් හමු  වූ අතුරු පාරේ විනාඩියක් පමන දුක සැප අසා මා එන්නට පැමිණියෙමි......
මා නිවසට යන්නටත් ප්‍රථම එය  අප්පච්චීට ආරන්චි වූ හැටි අදටත් මම දන්නේ නැත...:) :) නිවසේ අය මිතුරා හොඳින් අදුනන බැවින් ප්‍රශ්න පත්‍රයෙන් බේරීමට මට හැකි විය.

මා සාමාන්‍ය පෙළ පංතීයේ උගන්නා කාලයේදී අම්මාද ගමේ පාසැලේ සාමන්‍ය පෙළ සිංහල සහ සමාජ අධ්‍යනය උගැන්වූවාය..

කාලසටහනේ සිංහල යෙදී තිබුන දින ඇගේ සිසු සිසුවියන්  අපේ නිවසට හවස් යාමයේ පමිණ නැවත නැවත පාඩම් මතක් කර ගන්නා ලදී.නමුත් මට නම් මෙය මහ කරදරයක් සේ දැනුනි.ටික වේලාවක් ඔවුන්  මැදට වී සිට හිමින් සීරුවේ කෑමකාමරයට ගිය මම සිත්සේ කෑම මේසය උඩට වී නිදා ගතිමි..ඒ අධ්‍යාපනයට ලැදි සුවච  කීකරු ළමයින් ගියේ මහ රාත්‍රියේ කීයටදැයි මට නම් මතක නැත.......:)...:)
උදෑසන බොහො සිත් ප්‍රීතියෙන් යුතුව මම පාසල් ගොස් සින්හල ප්‍රශ්න පත්‍රයට අමාරුවක් නැතිව පිළිතුරු ලියා පැමිණියෙමි..එන අතර මග හමු වු මවගේ ගෝලබාලයින් ඈ කිවූ ලෙසටම ප්‍රශ්න දෙක තුනක් ආ බවත් පැවසුවෝය.
මතක ඇති ලෙසටනම් එකක් සැලලිහිණි සංදේශයේ කවි වලිනි......කවි පාඩම් නැති නිසා මම එය අත් හැරියෙමි....කෙසේ නමුත් අවසනදී මටත් විශිෂ්ට සාමර්තයක් නම් තිබුනි....

 අපේ වත්ත අවසන් වන්නේ ගමේ වෙල් යායකිනි.අනෙක් පස ඇත්තේ මහා ගල් තලාවකි අක්කර ගනනකින් යුතු මේ ගල් තලාව අවසන් වන්නේ කඳු මුදුනේ  ඇති පන්සලෙනි. අරලියා ගස් පමණක් සරුවට වැඩුණු  බිමක පිහිටි පන්සල සමග ඒ තරම් සම්බන්ධයක් මගේ නොවුනත් පොහොය දිනට අහල පහල මිතුරියන්ද අම්මාද සමග මම පන්සල් ගියෙමි.පන්සල එක්පැත්තක තිබුණේ වැවකි...කුඹුරු අස්වැද්දීමට ජලය හිග කාලයේ වතුර ලබාගත්තේ මේ වැවෙනි..වැව නිවස ළඟම තිබුණත් මම කිසිම දිනක එහි නා නැත්තෙමි....

 පන්සල වටා තිබූ මේ ඉඩම් කීපය හා බැඳුනු අත්භූත කතාද බොහොමයකි.. පන්සල් වත්තත් ඒ අවට ප්‍රදේශයේත් සවස් යාමයේ ළමුන්ට තහනම් ප්‍රදේශයක් කොට තිබුනේ ඒ නිසාය....නමුත් අප පාසැල් ඇරී පැමින  එරමිණියා වාරයට තරඟයට එරමිණියා කැඩුවේ සවස් වරුවේය.( එරමිණියා යනු බොහො විට ගල් උඩ සෑදෙන කටුපඳුරු වර්ගයකි.එහි අතු වල කුඩා ගෙඩි හට ගනී.ඒවා දිව පිනායන රසයකින් යුක්තය.කඩන්නට ගොස් ඇනෙන සීරෙන අවස්ථා නිමක් නැත )
අතීතය මතකයට නැගීම සුන්දරය....


Friday, August 24, 2012

කාලය පියඹන්න..... ඉක්මනින්

ජීවිතය හරි පුදුමාකාරය විටෙක සැනසුම බිංදුවකුදු  ඉතිරි කිරීමක් නොමැතිව උදුරාගන්නේය.තවත් විටක එපා නොකියන්න තරමේ සැනසුමක් සිතට ළඟාකරදෙන්නේය.
ආදරය නිසා මා බොහෝ වේදනා ප්‍රිය විප්‍රයෝගය නිසා විඳ ඇත්තෙමි.නමුත් ඒ ආදරය නැතිවී ගිය පසු නැවතත් පෙරලා මට දැන් ලැබෙන ආදරය අසීමානතිකය.මම ආදරය විඳිමි..නමුත් කිව නොහැකි නොතේරෙන අඩුවක් මගේ සිතට දැනේ.එය ආදරය සම්බන්ද දෙයක් නොවේ.....මව පියා නැගනිය හා සම්බන්ධ දෙයකි.ඔවුන් දක්නට නොමැතිව මම මෙතර්ම කාලයක් සිට නැත්තෙමි...

මා දන්නා දා සිට තනිකම මා අසල නොසිටියේය...සෑම විටම කෙළිදෙලෙන් ගත කරනා චරිතයක් වූ මා මෙසේ දැන් සිටිනා ජීවිතය මටම එපා කරවයි.....
මෙහි පැමිණ මා ලැබුවේ හොඳ ස්වාමියෙකු පමණි.......
උදෑසන සිට රාත්‍රිය දක්වා තනිව ගෙවන මේ ජීවිතයත් ලංකාවේ ගෙවූ සුන්දර ජීවිතයත් අතර පරතරය කෙතරම්ද???
නැවතත ඒ සජීවී ලොවට යාමට ගතවන කාලය මම සැමදිනම ගනන් බලමි.

ජීවිතයේ සැහෙන කාලයක් ගෙවා ඇත්තෙමි.එය මතක සාගරයකි.කුඩා කාලය,පාසැල් සමය,විශ්ව ව්ද්‍යාලය,කාර්යාලය,අමතර ඉගෙනුම්,, මේ සෑම දෙයක් සමගම බද්ධ වී තිබුණු ඒ අතීතය මේ අජීවී ලෝකයට වඩා සුන්දර යයි හැගුනු වාර අනන්තය...

සති අන්තය තෙක් මම ඉන්නේ ගෙදර බලා යන්නටය..නමුත් දැන්......වසරක් දෙකක් මග බලා ඉන්නට සිදුවීම ,,,,???
කවුරුන් කෙසේ උපහාසයට ගත්තද අපේ බිමේ , අපේ අයගේ අගය දැනෙනේ අපි එයින් නික්ම ගිය පසුවය...
පෙර සුර ලොවකයි සිතා යන්නටම පොරබදා මෙහි ආ මම සුර ලොවක සිටින බව දනිතත් එහි අගය දනිතත්.......ඊටත් වඩා මගේ රටට යන්නට ආසාවෙන් සිටිමි.....

නමුත් මෙය පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් විය හැකිය.......

Tuesday, August 21, 2012

දුම් වැටි උරලා

මං පුංචි කාලෙදි දැන් වගේ නෙවෙයි .ගොඩක් කටකාරයිලු.කටට එන දේ තැන නොතැන බලන්නේ නැතිව ඔහේ කියල දානවලු..........

ඒ දවස්වල මට යන්තම් අවුරුදු 3-4 විතර ඇතිලු මේ සිද්ධිය වෙද්දි......

අපේ අප්පච්චිට  නතර කරන්නම බැරි සෞඛ්‍යට අහිතකරම නරක පුරුද්දක් තිබුණ .
ඒ දුම් පානය.....

 අම්මා කොයිතරම් කීවත් අපි කොයි තරම් කීවත් සදහටම අමද්යප වෙලා හිටපු අප්පච්චිව දුම් පානයෙන් නම් වලක්වන්න බැරිඋණා..

දවසක් මම අප්පච්චිත් එක්ක කුරුණෑගල නගරයට ගිහින් තිබුණා.මේ සිද්ධිය මට මතක නෑ..මතක් කලෙත් අප්පච්චි මේ ළඟදි දවසක...
 අපේ වැඩේ කරගෙන අප්පච්චි මමයි බස් එකට නැග්ගලු.හිස් සීට් එකක මාව ඉන්දවල බස් එක යන්න තව වෙලා තිබුනු නිසා අප්පච්චි බැහැල ගිහින් මාවත් පේන හරියෙන් හිටගෙන ගත්තළු සිගරැට් එකක් බොන්න.
 මේ වැඩෙට කොහොමත් මම අකමැතීනෙ...

මම බස් එකේ ජනේලයෙන් ඔළුව දාලා අප්පච්චි දිහා බලාගෙන බස් එකේ ඉන්න අයටයි  වෙන බස් වලට නඟින්න ඉන්න අයටයි ඇහෙන්නම මෙහෙම කීවලු
" දුම් වැටි උරලා......
පිළිකා හැදිලා..... ...
අකාලයේ ඇයි මරු වෙත යන්න හදන්නේ...............

 දැන් බස් එකේ ඉන්න මිනිස්සු බලනවළු මේ පුන්චි ළමයා කාටද මේ සින්දුව කියන්නෙ කියල....අප්පච්චිට පොලව පලාගෙන යන්න හිතුනලු...ඒත් එයා අහුනෙ නෑ වගේ එතනම ඉඳල බස් එකට නැග්ගලු යන්න හදද්දි
ළඟ හිටපු ඇන්ටි කෙනෙක් තව ඇන්ටි කෙනෙක්ට කීවලු"අර බබා සින්දුව කිය්ල තියෙන්නෙ එයාගෙ තාත්තටමනෙ ඒත් ඒ මනුස්සය ඒක ගානකටවත් ගත්තෙ නෑනෙ කියල..

 අප්පච්චි ලැජ්ජාව වහගන්න ගත්තලු පත්තරේ කියවන්න,,, මම ජනේලෙන් පාර දිහා බලාගෙන තවත් දේවල් කියව කියව ආවලු


Wednesday, August 15, 2012

ළබැඳි යෙහෙළියේ


අනාගතයේ එක් දිනක
කොහේදී හෝ කම් නැත
දයාබර යෙහෙළියේ
හමුවන්නට ආසයි මට නුඹව
අතීතය සිහිනයක් වුවත් දැනට
අනාගතය තවමත් අපට ඇත
දනිමි මම
අගය
අපේ වටින මිතු දමේ
මිල කල් නොහැක්කේමැයි
එය
මට කිසිදු දින
ඔබෙන් ලද පන්නරය
වීය මට පහන් ටැඹ
සදා ණයගැතිය මා
ඔබෙන් ලද ඔවදනට
දූකින් සංවේගයෙන්
හඬන විට දිවා රෑ
ඔබයි මා ළඟට වී
හිත හැදුවෙ සැමදා
නොවේ අමතක කෙදින
එය මෙමට කිසිදා
පතමි ඔබ යනෙන මග
වාසනා මල් සැමදා

එදා මෙදා තුර මට හමු වූ අපූර්වතම මිතුරිය ඇය.පාසැල් වීයේ සිට මේ දක්වා.....අපි එකම නවාතැනක දුක,සතුට,සම සමව බෙදාගනිමින් ගතකරපු ඒ සුන්දරම කාලය නැවතනම් එන්නේ නෑ...ඒත් මතකය සුන්දරයි.....

Thursday, August 2, 2012

කාලෙකට පස්සෙ ආයෙමත මේ  පැත්තට එන්න හිතා ගත්තා..පහුගිය කාලසීමාවෙ ඉතා කාර්ය බහුල වී හිටපු නිසා බ්ලොග් එක තියනවාදැයි වත් බලන්නට බැරි උනා....
හ්ම්ම්ම්... ආයෙමත් ආදරෙන් ලියන්නම්.......