Followers

Thursday, November 15, 2012

විරුවෝ නොමැරෙත්

මුනු පොතේ  අද දැකපු  පිංතූරයක්  නිසා  මගේ හිතුවිලි අතීතයට ගියා......
මට හමු වූ සොඳුරු මිනිසා නුඹ.....
ජීවිතය අනපේක්ශිතව ගව් ගනණක් දුර අගාදයකට ඇද දැමුව ඒ අවසනාවන්ත සිදුවීම...නැවත හිත හදා ගෙන ජීවිතය ගොඩනගා ගැනිම.....
නුඹ හා සමානම සොදුරු මිනිසෙකු නැවත  හමුවීම...

රෙහාන්  නුඹ අපේ කාලයේ වීරයෙක්..ගුවන් පැය 2000 කට අසන්න ප්‍රමාණයක් සැරිසරා..රටේ එකීයභාවය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල නිර්භීත ගුවන් නියමුවෙක්.
2009 වසරේ නොවැම්බර් මාසයේ  එක මූසල සිකුරාදාවක නුඹ අපට නොකියාම යන්න ගිහින් තිබුනා........mi 24 ගුවන් යානයේ හදිස්සියේ ඇතිවු කාර්මික දෝෂයක් නිසාවෙන්.......(අපට දැනගන්න ලැබුනෙ එහෙමයි.නමුත් අතුරු කතා ගොඩක් ඒ සිදුවීම වටා ගෙතිල තිබුනා ඒ මට දුන්න අවසන් ඇමතුම නිසා)


ලකඹරේ පසුතැවුම

නුඹට මතකද මපුත
නම වසකට ප්‍රතම
නුඹ මගේ ඇකයට ආ...පලමු දින
සතුටු වුනි මම...තවත් විරුවෙක්
දායාද වු බවට ලක් අඹර වෙත......
යුද ගිනි දල් මැදින් ගුවන අරාවට....
නුඹේ විස්කම් දැක පැහැදුනෙමි...
සතුටු වූයෙමි...
ගුවන පුරාවට මගේ දරුවන් බොහෝමැයි අද
එත්  මා පුත ලබන්නට නොහැක
අහිංසක නුඹවන්  පුතෙක්  යලි
බද්‍රකල්පය පුරාවට මට.........
නුඹේ නෑසියන් ..නුඹේ ලබැදියන්..
ශෝකයෙන් භරිත වී බලයි මා දෙස ......
දෑත් දිගු කරමින් .....
බලන් මා පුත කඳුලු හංගා සිනාසෙමි මම....
සිතුනි නම් මට....
දැනුනි නම් මට....
එවන් විපතක් එදින.....
එවන්නෙමි මම අසනි වලාවක්
බුත්තල නුබ ගැබට..
පමා කෙරුමට නුඹේ අවසන් ගමන........
ඇකයෙන් ගිලිහුනද මා පුත...
නුඹ මගේමයි සදකාලික..........................
පැමින එක්වරක් මාවෙත
පානු මැන අවසන් ප්‍රාතිහාර්ය................


ඔබ ඉතා සරල හිත හොඳ මිනිසෙකු විය..නුඹේ  අසල්වාසියාවත් නුඹ මියෙනතුරු ඔබ  ගුවන් නියමුවෙක්

බව ට දැන සිටියේ නැත.නුඹ කෙතරම් නිහතමානිදැයි මා දැනගත්තේද එදිනය.....


මා ඔබෙන් අසන මේ ප්‍රශ්නයට ඔබ දෙන පිලිතුර මා දනිමි.....
කලගුණ නොදන්නා පිරිසකට......
තම දිවි පරදුවට තබා.....
සේවය කිරිමෙන් අවසන......
ඔබ ලැබුයේ කුමක්ද?

ඔබේ  පිලිතුර........මදහසක් සමග....... මං කලේ  මගේ රටට....ඔයා අහන දේ  හැමෝටම 
පොදුයි.

 දිනක් අනුරාධපුරයේදී වාහනය ධාවන නීති අතපසු වීමකින් කැඩූ ඔබගෙන් පොලිස් නිළධාරියෙකු හැඳුනුම්පත ඉල්ලද්දී එය දීමට ඔබ අදිමදි කලේ එය පෙන්වා ඔහුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට නොවේ, හැඳුනුම්පත නොපෙන්වීම නිසා අපට ටික වේලාවක් එතැන ගත කිරීමට සිදුවිය.ඔබේ අම්මා අන් මගක් නැති තැන ඔයා ඕක පෙන්නන්න කියා දස වතාවක් පමණ කියූ පසු එය රැගෙන ගියේ අකමැත්තෙනි....

ඔබ ආපසු ආවේ සිනාසෙමිනි....මොකද කීවේ... උඩ යන විදිහට බීම යන්න හදන්න එපා කීවා.......:)...:)

 ප.ලි

 මා දැන් සැතපුම් දහස් ගනනක් දුර රටක අළුත් ජීවිතයකය....අළුත් සාමාජිකයෙක් පසුගියදාක අප අතරට පැමිණියේය...ඔබ මගේ ජීවිතය යළි ගොඩනගා ගන්නට කොහේ හෝ සිට මට ආශීර්වාද කර සිටින බව මා තරයේ විශ්වාස කරමි......

මේ මළවුන්ගේ මාසයේ 27  වෙනිදාට ඔබ මේ ලෝකයෙන්ම සමුගෙන ගොස් වසර 03 ක් පිරෙනවා...

සොඳුරු නිහතමානී මා සබඳානෙනි......
මිනිසකුගේ ජීවිතය කොතරම් වටින්නේදැයි දන්නා ලංකාවක් යළි ප්‍රතිනිර්මානය වන යම් දවසක.....අපි ඔබගේ පැමිණීම යළි බලාපොරොත්තු වෙමු..

එතෙක් ඔබට ස්වර්ඝ රාජ්‍යයේ සුවබර දිගු නිවාඩුවක්.....


ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි වැඩක් නැතේ.................

 

Monday, November 12, 2012

අම්මාගෙන් ලැබූ කවිය...............

අභිසෙස් ලබා
මව් පදවිය
දිනුවා දිරිය දියණියක් ඔබ ලොව
නැගුණා සතුටු කඳුලු
නෙත් කෙවෙනි අග
පිපුණා ඉඳුවර පුෂ්පයක්
දසත සුවඳ විහිදුවමින්
පිඅ පදවිය ලැබූ
ඔබෙ සැමියාත්
මව් පදවිය ලැබු ඔබත්

රට , දැය සමය වෙනුවෙන්

එක් යුතුකමක්
ඉටුකලා සේ
දැණුනා
මගෙ හදවතට ♥ ♥ ♥
_____අම්මා & අප්පච්චි ______
(අම්ම මේක ලීවෙ පෙරේදා :) )

 කියවා හිතට දැනුනු දුක අපමණය....සැතපුම් දස දහස් ගනනක දුරක සිටියත් මට ඔබේ සුවඳ දැනුනි....ඔබේ අගය දැනුනි.....ඔබ මා වෙනුවෙන් විඳි දුක අපමණ යයි හැඟුනි....

Wednesday, August 29, 2012

ඔබ ලැබුනෙන් මා පින් කල බව දැනුනී....



අපි දෙන්නා හමු උනේ අහම්බෙන්....අහම්බෙන් ඇති උනු මිතුරුකම මාස 03ක් වගේ කෙටි කාලෙකින් "විවාහය"දක්වාම දුර ගියා....
අපි දෙන්නම ආදරයේ වේදනා ඇති පමණින්  විඳ තිබුණු  හින්දම ඉක්මනින් අපි අපේ වෙන්නම අඩි තාලම දැමුවා....මම නම් ඔබේ ඒ අදහසට එකපයින් කැමති උනේ ඔබව මට නැතිවේයි කියල හිතට දැනුනු හන්දාද මන්දා.....
ඔබෙන් මම දැකපු උතුම් ගතිගුණ වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ඇත්තටම ඔබ  අහිංසකයි...දැන් දැන් මට තෙරෙන විදිහට නම් අහිංසක කමක් ගෑවිලාවත් නැති මාව මේ තරම් සුවච කීකරු බිරිදක් කරගත්තෙ ඔයාගෙ ඉවසීමයි අහිංසක කමයි කියල.ඇත්තටම මට එක වචනෙකින් වත් ඔබට රිද්දන්න හිත දෙන්නෙම නෑ....
 ඔයත් මාව වචනෙකින්වත් රිද්දන්නෙ නෑ....හුඟක් දේ හිතේ දරාගෙන හිත රිදුනත් මගෙ වචනෙකට හරි ඒ වෙනස්වීම මට නොපෙන්වා හැමදාම එකවගේම ආදරේකින් ඉන්න ඔයා ලැබීමට මම වාසනාවන්ත උණා

අපේ අම්මාට..අප්පච්චීට ඔයා හොඳ පුතෙක්...අම්මා මටත් වඩා ආදරේද කියලත් මට වෙලාවකට හිතෙනවා....මගේ නියම චරිත ස්වභාවය( ගෙදර ඉන්න කාලෙදි ) දන්න අප්පච්චි හැම වෙලාවෙම කියන්නෙ ඔයා ඔය ලමයට බනින්නෙ එහෙම නෑ...ඔන්න මම නරකයි කියල කියන්න එපා කියල....එයාලා දන්නෙ නෑ මම දැන් කොයිතරමට වෙනස් වෙලාද කියල...............................

අපේ අම්මා කිවේ ...ඒ ළමයගෙ හිත මලක් වගේ ඔයා ඒක තලල දානව එහෙම නෙවේ කියල.......

කවුරු මොනව කීවත්....මට පුදුම මම වෙනස් උන එක ගැන....මගේ යාළුවො විස්වාස කරාවිද මන්දා.....දඩබ්බර අදහස් තිබුනු  මම මෙහෙම වෙනස්වෙලා  කියලා....

මගේ අහිමි උන ආදරයෙ දෙවසර සිහිකිරීමට දානයක් දෙන්න ඔබට පුළුවන් හැමදේම ඒ වෙනුවෙන් කලා..ඒ විතරක්ද ඔහුගේ දෙමව්පියන්ගේ සහොදරියගේ දුකසැප පවා සොයා බලන්න ඔහුගෙ නිවසට යන්න මාත් එක්ක එකතු උනා....අහිමි ආදරෙට මගේ ඇහින් කඳුලක් වැටෙද්දිත් ඒ කඳුල ඉවසන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බා.....

මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියල....ඇත්තටම ඔයා ලබන්නත් මම පින් කරල ඇති.......අපි දෙන්න අපේම වෙලා අවුරුද්දක් නොදනිම ගෙවිල.................අපි දෙන්නටම සුභ විවාහ සංවත්සරයක් වෙවා

 ප/ලි- ඉහලින් තියන පිංතූරෙ අපි දෙන්නා තනියම සමරපු  පළමු විවාහ සංවත්සරයෙ කේක් එක.....ලස්සනයි නේද ??

Monday, August 27, 2012

අතීත මතක.................




ගම .....මා ඉතා ආශා කරන මාතෘකාවකි.කුරුණෑගලින් බොහෝ දුර හද්දාපිටිසර උදයට සහ හවසට එකම බසයක් ධාවනය වුනු එහෙත් අති සුන්දර ගමක විසූ අප  කාලය ගතවීමෙන්  පියාගේ ගම හැරදා නාගරීකරනය වූ මවගේ ගමට පැමිණියෙමු...නමුත් මට එහි වසර 15 ක පමන අතීතයක් ඇත...

 නගරයේ පාසැලකට එවකට එම ගමෙන්ම ගියේ මා පමණකි.(පසු කලෙකදී එය වෙනස් වුවත් ) නමුත් අසල්වැසි ගමේ කීප දෙනෙක් නගරයේ විවිධ පාසැල් වලට ගියෝය. පුරා වසර 10 ක පමණ කාලයක්ම මා පසැල් ගියේ "පාසැල් සේවය" වෑන් රථයකිනි.
අමතර පංති තිබු දවසට එය වෙනස් වේ... අප්පච්චී නිවසේ නොසිටින තැන සැතපුම් 04 ක් පමණ දුරක් ඇවිද යාමට සිදු වේ..එදවස එය මට එපා කරවන්නක් වූවත් මිතුරියක් හමු වූ විට රටේ ඇති සියළු දේ කතාකරමින් පුරා පැයක් පමණ ගත කරමින් නිවෙස් කරා ඇවිද එන්නෙමු.එන අතර මගදී කවුරුන් හෝ අදුනන කෙනෙක් අපට බයිසිකලයක නැග නිවසට යන්නට කථා කරන විරල අවස්ථාද විය.


 අම්මා ගමේ පාසැලේ ඉගැන් වූ නිසාත්,අප්පච්චී  අසල්වැසි ගමේ ගම්මුලාදෑනියා වී නිසාත් මම නොදත් නමුත් මා දන්නා පිරිස අහල ගම් හත තුලම විය.එමෙන්ම අම්මාගේ මුහුණුවරට ඉතා සමානව තිබූ මගේ මුහුණුවර මට අවාසි සහගත එකක් වූයේ සෑම තැනදීම මා හැඳින ගැනීමට තිබූ ප්‍රබල සාධකයක් වූ බැවිනි...

වරක් මා උසස් පෙළ අවදියේ අමතර පංතියකට ගොස් එනවිටදී අහඹු ලෙස  http://muthupabaluwal.blogspot.com.au/2011/10/blog-post_11.html. කථානායක මගේ මිතුරා මගදී හමු විය.පාසැල් නිල ඇඳුමින්  සිටිනිසාත් මග තොට කතා කීරීම නුසුදුසු නිසාත් හමු  වූ අතුරු පාරේ විනාඩියක් පමන දුක සැප අසා මා එන්නට පැමිණියෙමි......
මා නිවසට යන්නටත් ප්‍රථම එය  අප්පච්චීට ආරන්චි වූ හැටි අදටත් මම දන්නේ නැත...:) :) නිවසේ අය මිතුරා හොඳින් අදුනන බැවින් ප්‍රශ්න පත්‍රයෙන් බේරීමට මට හැකි විය.

මා සාමාන්‍ය පෙළ පංතීයේ උගන්නා කාලයේදී අම්මාද ගමේ පාසැලේ සාමන්‍ය පෙළ සිංහල සහ සමාජ අධ්‍යනය උගැන්වූවාය..

කාලසටහනේ සිංහල යෙදී තිබුන දින ඇගේ සිසු සිසුවියන්  අපේ නිවසට හවස් යාමයේ පමිණ නැවත නැවත පාඩම් මතක් කර ගන්නා ලදී.නමුත් මට නම් මෙය මහ කරදරයක් සේ දැනුනි.ටික වේලාවක් ඔවුන්  මැදට වී සිට හිමින් සීරුවේ කෑමකාමරයට ගිය මම සිත්සේ කෑම මේසය උඩට වී නිදා ගතිමි..ඒ අධ්‍යාපනයට ලැදි සුවච  කීකරු ළමයින් ගියේ මහ රාත්‍රියේ කීයටදැයි මට නම් මතක නැත.......:)...:)
උදෑසන බොහො සිත් ප්‍රීතියෙන් යුතුව මම පාසල් ගොස් සින්හල ප්‍රශ්න පත්‍රයට අමාරුවක් නැතිව පිළිතුරු ලියා පැමිණියෙමි..එන අතර මග හමු වු මවගේ ගෝලබාලයින් ඈ කිවූ ලෙසටම ප්‍රශ්න දෙක තුනක් ආ බවත් පැවසුවෝය.
මතක ඇති ලෙසටනම් එකක් සැලලිහිණි සංදේශයේ කවි වලිනි......කවි පාඩම් නැති නිසා මම එය අත් හැරියෙමි....කෙසේ නමුත් අවසනදී මටත් විශිෂ්ට සාමර්තයක් නම් තිබුනි....

 අපේ වත්ත අවසන් වන්නේ ගමේ වෙල් යායකිනි.අනෙක් පස ඇත්තේ මහා ගල් තලාවකි අක්කර ගනනකින් යුතු මේ ගල් තලාව අවසන් වන්නේ කඳු මුදුනේ  ඇති පන්සලෙනි. අරලියා ගස් පමණක් සරුවට වැඩුණු  බිමක පිහිටි පන්සල සමග ඒ තරම් සම්බන්ධයක් මගේ නොවුනත් පොහොය දිනට අහල පහල මිතුරියන්ද අම්මාද සමග මම පන්සල් ගියෙමි.පන්සල එක්පැත්තක තිබුණේ වැවකි...කුඹුරු අස්වැද්දීමට ජලය හිග කාලයේ වතුර ලබාගත්තේ මේ වැවෙනි..වැව නිවස ළඟම තිබුණත් මම කිසිම දිනක එහි නා නැත්තෙමි....

 පන්සල වටා තිබූ මේ ඉඩම් කීපය හා බැඳුනු අත්භූත කතාද බොහොමයකි.. පන්සල් වත්තත් ඒ අවට ප්‍රදේශයේත් සවස් යාමයේ ළමුන්ට තහනම් ප්‍රදේශයක් කොට තිබුනේ ඒ නිසාය....නමුත් අප පාසැල් ඇරී පැමින  එරමිණියා වාරයට තරඟයට එරමිණියා කැඩුවේ සවස් වරුවේය.( එරමිණියා යනු බොහො විට ගල් උඩ සෑදෙන කටුපඳුරු වර්ගයකි.එහි අතු වල කුඩා ගෙඩි හට ගනී.ඒවා දිව පිනායන රසයකින් යුක්තය.කඩන්නට ගොස් ඇනෙන සීරෙන අවස්ථා නිමක් නැත )
අතීතය මතකයට නැගීම සුන්දරය....


Friday, August 24, 2012

කාලය පියඹන්න..... ඉක්මනින්

ජීවිතය හරි පුදුමාකාරය විටෙක සැනසුම බිංදුවකුදු  ඉතිරි කිරීමක් නොමැතිව උදුරාගන්නේය.තවත් විටක එපා නොකියන්න තරමේ සැනසුමක් සිතට ළඟාකරදෙන්නේය.
ආදරය නිසා මා බොහෝ වේදනා ප්‍රිය විප්‍රයෝගය නිසා විඳ ඇත්තෙමි.නමුත් ඒ ආදරය නැතිවී ගිය පසු නැවතත් පෙරලා මට දැන් ලැබෙන ආදරය අසීමානතිකය.මම ආදරය විඳිමි..නමුත් කිව නොහැකි නොතේරෙන අඩුවක් මගේ සිතට දැනේ.එය ආදරය සම්බන්ද දෙයක් නොවේ.....මව පියා නැගනිය හා සම්බන්ධ දෙයකි.ඔවුන් දක්නට නොමැතිව මම මෙතර්ම කාලයක් සිට නැත්තෙමි...

මා දන්නා දා සිට තනිකම මා අසල නොසිටියේය...සෑම විටම කෙළිදෙලෙන් ගත කරනා චරිතයක් වූ මා මෙසේ දැන් සිටිනා ජීවිතය මටම එපා කරවයි.....
මෙහි පැමිණ මා ලැබුවේ හොඳ ස්වාමියෙකු පමණි.......
උදෑසන සිට රාත්‍රිය දක්වා තනිව ගෙවන මේ ජීවිතයත් ලංකාවේ ගෙවූ සුන්දර ජීවිතයත් අතර පරතරය කෙතරම්ද???
නැවතත ඒ සජීවී ලොවට යාමට ගතවන කාලය මම සැමදිනම ගනන් බලමි.

ජීවිතයේ සැහෙන කාලයක් ගෙවා ඇත්තෙමි.එය මතක සාගරයකි.කුඩා කාලය,පාසැල් සමය,විශ්ව ව්ද්‍යාලය,කාර්යාලය,අමතර ඉගෙනුම්,, මේ සෑම දෙයක් සමගම බද්ධ වී තිබුණු ඒ අතීතය මේ අජීවී ලෝකයට වඩා සුන්දර යයි හැගුනු වාර අනන්තය...

සති අන්තය තෙක් මම ඉන්නේ ගෙදර බලා යන්නටය..නමුත් දැන්......වසරක් දෙකක් මග බලා ඉන්නට සිදුවීම ,,,,???
කවුරුන් කෙසේ උපහාසයට ගත්තද අපේ බිමේ , අපේ අයගේ අගය දැනෙනේ අපි එයින් නික්ම ගිය පසුවය...
පෙර සුර ලොවකයි සිතා යන්නටම පොරබදා මෙහි ආ මම සුර ලොවක සිටින බව දනිතත් එහි අගය දනිතත්.......ඊටත් වඩා මගේ රටට යන්නට ආසාවෙන් සිටිමි.....

නමුත් මෙය පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් විය හැකිය.......

Tuesday, August 21, 2012

දුම් වැටි උරලා

මං පුංචි කාලෙදි දැන් වගේ නෙවෙයි .ගොඩක් කටකාරයිලු.කටට එන දේ තැන නොතැන බලන්නේ නැතිව ඔහේ කියල දානවලු..........

ඒ දවස්වල මට යන්තම් අවුරුදු 3-4 විතර ඇතිලු මේ සිද්ධිය වෙද්දි......

අපේ අප්පච්චිට  නතර කරන්නම බැරි සෞඛ්‍යට අහිතකරම නරක පුරුද්දක් තිබුණ .
ඒ දුම් පානය.....

 අම්මා කොයිතරම් කීවත් අපි කොයි තරම් කීවත් සදහටම අමද්යප වෙලා හිටපු අප්පච්චිව දුම් පානයෙන් නම් වලක්වන්න බැරිඋණා..

දවසක් මම අප්පච්චිත් එක්ක කුරුණෑගල නගරයට ගිහින් තිබුණා.මේ සිද්ධිය මට මතක නෑ..මතක් කලෙත් අප්පච්චි මේ ළඟදි දවසක...
 අපේ වැඩේ කරගෙන අප්පච්චි මමයි බස් එකට නැග්ගලු.හිස් සීට් එකක මාව ඉන්දවල බස් එක යන්න තව වෙලා තිබුනු නිසා අප්පච්චි බැහැල ගිහින් මාවත් පේන හරියෙන් හිටගෙන ගත්තළු සිගරැට් එකක් බොන්න.
 මේ වැඩෙට කොහොමත් මම අකමැතීනෙ...

මම බස් එකේ ජනේලයෙන් ඔළුව දාලා අප්පච්චි දිහා බලාගෙන බස් එකේ ඉන්න අයටයි  වෙන බස් වලට නඟින්න ඉන්න අයටයි ඇහෙන්නම මෙහෙම කීවලු
" දුම් වැටි උරලා......
පිළිකා හැදිලා..... ...
අකාලයේ ඇයි මරු වෙත යන්න හදන්නේ...............

 දැන් බස් එකේ ඉන්න මිනිස්සු බලනවළු මේ පුන්චි ළමයා කාටද මේ සින්දුව කියන්නෙ කියල....අප්පච්චිට පොලව පලාගෙන යන්න හිතුනලු...ඒත් එයා අහුනෙ නෑ වගේ එතනම ඉඳල බස් එකට නැග්ගලු යන්න හදද්දි
ළඟ හිටපු ඇන්ටි කෙනෙක් තව ඇන්ටි කෙනෙක්ට කීවලු"අර බබා සින්දුව කිය්ල තියෙන්නෙ එයාගෙ තාත්තටමනෙ ඒත් ඒ මනුස්සය ඒක ගානකටවත් ගත්තෙ නෑනෙ කියල..

 අප්පච්චි ලැජ්ජාව වහගන්න ගත්තලු පත්තරේ කියවන්න,,, මම ජනේලෙන් පාර දිහා බලාගෙන තවත් දේවල් කියව කියව ආවලු


Wednesday, August 15, 2012

ළබැඳි යෙහෙළියේ


අනාගතයේ එක් දිනක
කොහේදී හෝ කම් නැත
දයාබර යෙහෙළියේ
හමුවන්නට ආසයි මට නුඹව
අතීතය සිහිනයක් වුවත් දැනට
අනාගතය තවමත් අපට ඇත
දනිමි මම
අගය
අපේ වටින මිතු දමේ
මිල කල් නොහැක්කේමැයි
එය
මට කිසිදු දින
ඔබෙන් ලද පන්නරය
වීය මට පහන් ටැඹ
සදා ණයගැතිය මා
ඔබෙන් ලද ඔවදනට
දූකින් සංවේගයෙන්
හඬන විට දිවා රෑ
ඔබයි මා ළඟට වී
හිත හැදුවෙ සැමදා
නොවේ අමතක කෙදින
එය මෙමට කිසිදා
පතමි ඔබ යනෙන මග
වාසනා මල් සැමදා

එදා මෙදා තුර මට හමු වූ අපූර්වතම මිතුරිය ඇය.පාසැල් වීයේ සිට මේ දක්වා.....අපි එකම නවාතැනක දුක,සතුට,සම සමව බෙදාගනිමින් ගතකරපු ඒ සුන්දරම කාලය නැවතනම් එන්නේ නෑ...ඒත් මතකය සුන්දරයි.....

Thursday, August 2, 2012

කාලෙකට පස්සෙ ආයෙමත මේ  පැත්තට එන්න හිතා ගත්තා..පහුගිය කාලසීමාවෙ ඉතා කාර්ය බහුල වී හිටපු නිසා බ්ලොග් එක තියනවාදැයි වත් බලන්නට බැරි උනා....
හ්ම්ම්ම්... ආයෙමත් ආදරෙන් ලියන්නම්.......

Saturday, April 28, 2012

ආපසු යන්නට ඇත්නම් මා බාල කාලයට...................



අම්මා සමග හුරතලයෙන් පසුවෙන්න
අප්පච්චී එක්ක කෙළි දෙලෙන් පසුවෙන්න
සෙල්ලම් බත් උයා  තුටින් නටමින් ඉන්න
දෙවියනි දෙනවාද වරයක් මා බාල කාලයට යන්න..............

ජීවිතයම සංකීර්ණ වී ඇත්තේ
සැනසුම සතුට තිබුණත් අඩුවක් ඇත්තේ
අතීතයට යන විට සිත දුක නැත්තේ
වරයක් ලැබුනොතින් පියඹමි සතුටින්නේ ..................

මව නැගනිය පියා සමග ගෙවු අතීතය
නැවත නො එන බව දැන දැන දුක වැඩිය
වෙල් එළි තුරු ළතාකඳු වැටි සැම තැනය
ඒ මැද තිබූ ගෙය තාමත අගනේය...........................

සිනහව සතුට සැම දින එහි තිබුණේය
අඩුවක් පාඩුවක් මට නොදැනුනි කෙදින
ආදරයයි පිරී පැවතුනේ සොඳින
සැමදින සිහිවන්නේ එය මට ආදරිණ.....

තනිව සිටිනවිට ආදරණීයයන්ගේ අඩුව දැනෙනවා වැඩිය......
සැතපුම් දසදසක් දුර සිටිමින්  මම සුසුම් හෙලමි...අවුරුදු නිවාඩුවට ගොස් පැමිනිවිට වෙනදාටත් වඩා තනිකමක් මට දැනුනි............

Saturday, April 7, 2012

කැන්ගරු දිවයින (ඕස්ට්‍රේලියාවම නොවේ)....................2

අපි දෙන්නාම MAP  එක අරගෙන හිතේ හැටියට බලාගත්තා...අපරාදෙ කියන්න ඕනෙ නෑ බලන්න ඕනෙ හැම දෙයක්ම හැම පාරක්ම බොහොම පැහැදිලිව සිතියමේ තිබුණා....
දිගටම ලියන්න අද නම් කාලය හරස් වෙන්නයි යන්නේ.. 
මේ ගල් වල කුහර හැදිල තියෙන්නෙ සුළඟට...වසර දස දහස් ගනනක පරිනාමය............


දැක්කම ආසා හිතෙන්න දැම්මෙ පිංතූර විතරයි.බලන්නකො එකම දූපතේ ලස්සන

Tuesday, February 28, 2012

කැන්ගරු දිවයින (ඕස්ට්‍රලියාවම නොවේ...) - 1

බින්දි " පර්ත් " ගැන දාලා තිබුණු පොස්ට් එක දැක්කම මටත් හිතුණා මේ දකුණු ඕස්ට්‍රේලියාව ගැනත් ලියන්න ඕනෙ කියල...නමුත් තවම ඒ ගැන කරුණු හොයන්න නම් අපහසු උණා... ඒ නිසා ම මම හිතුවා දකුණු ඕස්ට්‍රලියාවට පහලින්  තියෙන පුන්චි දූපත ගැන ලියල දාන්න  කාගෙත් දැනගැනීමට.......

කැන්ගරු දූපත කියන මේ දිවයින පිහිටල තියෙන්නේ දකුනු ඕස්ට්‍රලියාවට යටින්,,බොහොම පොඩියට....

ගුවනින් වගේම මුහුදිනුත් මේ දිවයිනට ලඟවෙන්න පුළුවන්..
අපි තීරනය කලේ මුහුදින් යමු කියල"ෆෙර්‍රි" එකේ..මොකද දූපත ඇතුලෙ ඇවිදින්න තැන් බොහෝමයක් තියෙන නිසා වාහනේ ගියොත් හොඳයි කියල මෙහෙට මාව ගෙනාපු මගේ "මේ පුර වැසියා " කිව්ව නිසා...

මෙය සංවිධානය කරන්නෙ SEALINK කියල ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතනයක්... ඉතිං වාහනයක්  රැගෙන යන්න කැමති නැත්තම්  ඔවුන්  විසින් සපයන බස් රථය තමන්ගේ ගමන් සඳහා යොදාගන්නත්  පුළුවන්...තම තමන්ගේ වාහන වලඉනුත්  ඒ වගේම බස් එකේ යන්නත් සෑහෙන පිරිසක් එදා ඇවිත් හිටියා....ගොඩබිමේ ඉඳලා විනාඩි 45 ක පමණ කාලයක් දූපතට යන්න ගතවෙනවා.


අපි SEALINK කාර්යාලයට ගිහින් නියමිත මුදල ගෙවල ඔවුන්ගෙන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගත්තා...ආ ඔවුන්ගේ එම පැකේජය  දින දෙකක් (රාත්‍රී දෙකක් )ඉන්න වාසස්ථානයක් අපට කැමති ලෙසකට තෝරාගන්න පුළුවන්...ඔවුන් හරහා..

අපිට ප්‍රවේශ පත්‍රය සමග මේ දිවයිනේ සිටියමක් ලැබුණා....බලන්න යන තැන්....මාර්ග තුනකින් .....

මේ දූපතේ  මිනිසුන් ප්‍රධාන වශයෙන් කරන්නේ බැටළුවනව ඇතිකරන එක ..එක යායට තිබුනේ  බැටළුවො ඉන්න තණපිටි.
ඔන්න ප්‍රවේශ පත්‍ර දීලා අපි ෆෙර්‍රි එකට නැගගත්තා...වාහනෙත් ඒ ක ඇතුලටම දාගත්තා....

වටා පිටාව නරඹමින්  ගල් සීතල වෙන හුළං  රැලි වදිමින් අපි ගමන පිටත් උනා......

විනාඩි 45 ක පමන ගමනකින් අපි  දූපතට සේන්දු උණා...වාහනේ ගත්ත මේ පුර වැසියා යි මමයි MAP එක අරගෙන  බැලුවෙ අපේ නවාතැනට යන පාර.....

ඇත්තටම ඒ දූපත සොභා සිරියෙන් අනූනයි.....
පාර දිගට පාරට හෙවන දෙමින් තිබුනේ මහා රූක්ශ ගස්.......

පැය 1/2 ක පමන වේලාවක් ඇතුලත පාළු පාරේ අපි දෙන්න අපේ නවාතැනට ලඟාවුනා අසීරුවකින් තොරව....

ටිකවේලාවක් ගිමන් හැරලා....ඔන්න පටන් ගත්තා අපේ වාහන චාරිකාව....
කොටසින් කොටස ලියන්න වෙන්නේ ................

Tuesday, February 21, 2012

රැගෙන එමි මම නුඹව

නොසිතුවෙමි මම
කිසිදු දිනයක
ඔබෙන් වෙන් වී
තනිව යන්නට

දෑත් පටලා
ඔබත් සමගම
පිය මනින්නට
 බලා සිටි සඳ

මත සැමරුම්
මා වෙලාගෙන
අනන්තය වෙත
රැගෙන යයි සිත

දවයි හදවත, පෙළයි මා සිත
තනිකමින් මා දැවෙයි  සැමදින
නුඹට පෙම් බැඳි සිව් වසර තුල
මතක සැමරුම් මහමෙරක් විය

සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
 මගේ තනිකම

එක් වතාවක්
නුඹ දකින්නට
වරම් ලැබිනොත්
ඔබේ ලොව මට


රැගෙන එමි මම
 මගේ ජීවය
පුදා ඔවුනට
ඔබව මෙලොවට


ප/ලි
වර්තමානයට කිසිසේත්ම සම්බන්ධ නැත.අතීත මතකයක දුක්බර ව සිටි මොහොතක අතීතයෙදීම            ලියැවුනකි.

Wednesday, February 15, 2012

කිණිහිරියා මලින් මහජන පොලට....................................

මේ සිද්ධිය උනේ අපි උසස්පෙළට පංති යන කාලේ......
හැබැයි මේක කියවල හිතන්න නම් එපා ඔන්න අපි නරක ළමයි කියල......හිකිස්......

එදා නිවාඩු දවසක්.....ඒත් අපි ඉස්කෝලෙට ගියෙ පාසැලේ ත්‍යාග ප්‍රධාන උත්සවයට පෙරපුහුණුවීම් තිබුනු නිසා.......මොන මල කරදරයක්ද කිය කිය හිත හිතා.....

පාසැල් නිල ඇඳුම් නැතිව අපි පාට ඇඳුමකින් තමයි ඉස්කෝලෙට යන්න කථා උනේ...

මීට කලින් ලියවුනු බ්ලොග් දෙකක හිටිය අතිජාත මිතුරියො දෙන්නටත් එදා ත්‍යාගප්‍රධාන උත්සවයට ආරාධනා තිබ්බා..හිකිස්....ඇත්තටම අපිට විෂයන් එකකට දෙකකට හොඳ ලකුණු තිබුණා....

අපි තුන්දෙනාම අපේ ඉස්කෝලෙ ඉස්සරහ දැවැන්ත ගේට්ටුව ලඟට එද්දි උදේ 9 ට විතර ඇති........

අපෝ......මටනම් මෙතන හිටගෙන ඉඳල ඇතිවෙලා බං.....රිහර්සල් කියල තිබුනට පේළියේ ගිහින් හිනාවෙලා certificate  ගන්න ඔයතරම් නහින්න ඕනෙද අද දවසම.......

කමක් නෑ ඔන්න ඔහෙ ටිකක්වෙල ඉඳල අපි යං... එහෙම හිතල අපි main hall එක පැත්තට ගියා....

මුළු පාසැලේම ත්‍යාග ප්‍රධානය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවේ....විෂයන් 8 ටටම 6 වසරේ ඉඳලා 13 වසර වෙනකල්.....අපොයි.....

මේ බං කිණිහිරියා මල් බලන්න යන්ද අද????හිකිස්......චන්දිගෙ කටට මසුරං දාන්න හිතුණා මට......

ම්ම්ම් යමං..මේ තවත් රෑග් වෙවී ඉන්න වාතයක් නේ......
කිණිහිරියා මල් කීවේ සිංහල ෆිල්ම් එකක්...කමල් සංගීතා......

අපේ ඉස්කෝලෙ ලඟම තිබුණු sinexfo එකට අපි දැන් හොරෙන් හොරෙන් යන්න යන්නේ....මම චන්දි...ෆර්හානා.....වැඩිය කාටවත් කීවොත් වැඩේ කොට උඩ නිසා.......

කොහෙද ඔය ළමයි ආපහු යන්නේ...අපි ගේට්ටුවෙන් එළියට එද්දිම ....අපේ ගේට්ටුවෙ මුර අංකල්.....

අපි යාලුවෙක් හම්බෙන්න ආවේ අංකල්.....

කිසි ම ගානක් නැතිව කියල දැම්ම...


හැබැයි වීරවරියො වගේ ගියාට මොකද ලබ්ඩබ් ලබ්ඩබ්......එතන්ට යත්දිත් ටිකක් පරක්කු වෙලා...ටිකට් අරගෙන ඇතුලට ගියාට මෙලෝ දෙයක් පේන්නෙ නෑ....අව්වෙ ඉඳලා ඇවිත් නිසා.....

ශීට් ෆුල්..චන්දි බලපං ඔතන ඉස්සර කවුරුත් නෑ වගේ....අපි තුන්දෙනාට එකටම ඉඳ ගන්නත් ඕනෙ නිසා මම කීවා....

එක පාරටම යටිගිරියෙන් හූවක්...... මොකද බං ...මිනිස්සුන්ට ඒක ඇහුනේ නෑ ෆිල්ම් එක පටන් ගන්න ඇඩ් යන හින්දා...

තනි ශීට් එකක ඉඳගෙන හිටපු මනුස්සයෙක්ගේ කකුල්දෙක අතරට චන්දි අත දාල ශීට් එකෙ ඉඩ තියනවද බලන්න .එකපාරට උනුදේ හිතා ගන්න බැරිව ඒ අහිංසක අසරණ මනුස්සය චන්දිගෙ අත අල්ලගෙන.....හැබැයි අපේ යාළුවට පෙනිල නෑ එතන කවුරුවත් ඉන්නව කියල........

සිනා සාගරයයි ...අපිට එකලඟ ශීට් හම්බුණා....පුරා පැය2.30 තිස්සෙ කිණිහිරියා මල් බැලුවා.....

ඉවර උණා......ආයෙමත් ශාන්ත දාන්ත ගැහැණු ළමෝ එළියට එන්න එනකොටම....මගේ ඇස් දෙකට පින් සිද්ධ වෙන්න දැක්කේ අති බිහිසුණු චරිත දෙකක්......

එළියට ගියෝතින්
1.මගේ ශිශ්‍ය නායිකා පදක්කම හෙට උදයෙන්ම අහිමි වී යාම.
2.දෙමව්පියන්ට එන්නට කීම
3.නිදහ්සට කරුණු දැක්වීම
(පාසැලට,ගෙදරට )
ෆිල්ම් එක බලපු හැමෝම එළියට යනවා......අනේ අපි හැංගෙන්න තැනක් හොයනවා..

ඇත්තටම ෆිල්ම් හෝල් එක ඉස්සරහ ඉන්නේ එහා පන්තියේ මිස්ල දෙන්නෙක්...අපිව පෙන්නත් බැරි...අපිට පේන්නත් බැරි......

ඒ බං  මොකද කරන්නේ.......අපි ට දැන්නම් බයයි....ෆිල්ම් හෝල් එකට එහාපැත්තෙ තියෙන්නෙ මහජන පොල.....ඒ පැත්තට යන්න කිසිම විදිහක් නෑ......මිස්ල දෙන්න ඇතුලට ආවොත් අයෙමත් ඉස්කෝලෙ නොයන එක හොඳයි....
එකම එක තැනකින් දෙකට බෙදුණු ගේට්ටු දෙකකින් එළියට යන්න තියෙන්නෙ...ඒත් ඒ දෙකෙන්ම ගියොත්  මිස්ලා අපිව දකිනවා....මම ආයෙමත් සැරයක් එහා පැත්තට ගිහින් බැලුවා සෙනගත් ටික ටික අඩුවෙනවා...

ඒයි මේ දැන්නම් කරන්න කිසිදෙයක් නෑ.එහාපැත්තේ තියන තාප්පෙන් ලැජ්ජාව පැත්තක තියලා පොළට පනින එක ඇරෙන්න....

අනේ මටනම් බෑ...ලැජ්ජවෙ බෑ බන් ....කරන්න දෙයක් නෑ..මම නම් පනිනවා..

හ්ම්ම් එහෙනම් මමත් පනිනව..ඒ චන්දි....ඒත් ආගමික භක්තිය..සමාජ තත්වය ගැන හිතල තවමත් මගේ මුස්ලිම් යෙහෙලිය අදිමදි කරනවා.
කමක් නෑ බන් අද විතරනේ මෙහෙම උනේ...පනිමු....

ඔන්න අපි තාප්පෙ ලඟට ආවා...මිනිස්සුත් ඉන්නව..කරන්න දෙයක් නෑ...අපි අඳුරන්නේ නෑ නේ...නැග්ගා අරලිය ගහට ....හිකිස්...

අය්යෝ...එදා සෙනසුරාදා දවසක් හින්දා පොලෙ බඩු විකුණන මිනිස්සු ඇවිත්( එයාලා දවසකට කලින් ඇවිත් ඉන්නවා)

අපිට ලැජ්ජාවෑ සන්තෝසෙ බෑ....

එක පාරටම තාප්පෙන් පැන්න කෙල්ල (මම දැකපු පොලෙ මුදලාලිලා බිරන් ටට්ටුවෙලා

කතා නැතිව බලාගෙන

ඊට පස්සෙ චන්දි......

ඔන්න එතකොට නම් මුදලාලිලට තෙරුනා මොකක් හරි දෙයක් තමයි කියල.....
මොකද ඔය ළමයි.....

මොනා උනත්  මොකද මේක අපේ වැඩක්....(චන්දි )

ඒ මට පනින බෑ බන්....

අපි දෙන්නම ලැජ්ජාව පැත්තකින් තියල පැන්නට මගේ අනිත් යෙහෙලිය තවම අරලිය ගහේ දෙබලටයි තාප්පෙටයි කකුලක් තියාගෙන.....

හොරාට චිත්තර පටියක් බලන්න ඇවිත් අහුවෙලාද කොහෙද ....පොලේ හිටපු තවත්  මිනිහෙක් කියපි....

අනේ  මේ අන්කල්ගෙ වැඩක් බලාගනවද කියල අහන්න බැරි හින්ද මමත් කට පියාගෙන හිටියා..
කොහොම කොහොම හරි දඟලල ෆාරාත්  පැන්නා පොලට....අම්මේ ඒ වෙලාවෙ දැනුන සනීපේ...මිස්ල හොයයි අපිව......

අපි පොල මැද්දෙන් අපි නෙවේ වගේ එළියට ආවා.....හිකිස්

Tuesday, February 7, 2012

සුභ- අසුභ.......(බිඳුණු පියාපත් -17)

දිනෙන් දින කාලය ගෙවී ගියේය.....අපි දෙදෙනා සිතින් ලංවෙමින් සිටියෙමු.....බොහෝ ඉරිදා දිනයන්හි මා කොලඹ පැමිනියේ ඔබ හමුවීය....මීගමුව නගරය...මුහුදු තීරය විචිත්‍රවත්  මතකයකි.........

හිරු බසිනා දෙස බලා සිටිමින් බොහෝ දේ කතා කරමින් සිට නැවත කොලඹ බලා මම පැමිනියෙමි..........

නංගා මම ඔයා ගැන අපේ ගෙදරට කියනවා...වීරයා සේ සිටියද එය ඇසූ විට මා චංචලවුයෙ අප්පච්චි නිසාය.
 හ්ම්ම්ම්ම්...ඔයත් කියන්න හොඳද? හ්ම්ම්ම්ම් ... මොකද ඔයා මේ බස්සෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ.....නෑහ්... සුමුදු.....මම දන්නවා ඇයි ඔයා තාම මට මොකුත් කියන්නෙ නැත්තෙ කියලා... ආගම මට කිසිම ප්‍රශ්නයක් නෙවේ.....ඔයා බුද්ධාගමේ බව මම නොදැන නෙවේ මේ affair එක පටන් ගත්තේ.....

ඉතිං ඔයාලගෙ ගෙදරින් කැමති වෙයිද ? ඇයි ඔයාට අකමැතිවෙන්නේ? අපේ කිසිම නොගැලපීමක් නෑ....ආගම ප්‍රශ්නයක් නෙවේ....බුද්ධාගමට මමත් ගරු කරනවා...

 ඔයා අපේ අක්කා එක්ක කතා කරන්නකෝ.....දිනක් සවස්යාමයේ මම ඔබේ සහෝදරියට ඇමතුමක් ගතිමි...

එදා පටන් අදටත් අක්කා මා සමග ඇත්තේ අපූර්ව බැඳීමකි...ඇය මට සෙනෙහෙවන්ත සහෝදරියක් වුවාය...

නංගි අපේ මල්ලි ගැන මට කියන්න වචන නෑ.එයා ඒ තරමටම හොඳ සහෝදරයෙක්...ඔයාට කවදාවත් දුකක් වෙන්න මගේ මල්ලි ඉඩ තියන්නේ නෑ....

 මම ඔයාලා දෙන්නාටම සුභ පතනවා

සෑම දෙයක්ම සුභවාදීව විසඳෙමින් තිබුනි.ආගම ඔබේ අම්මාටද මගේ අම්මාටද මතුපිටින් ප්‍රශ්නයක් වී නොතිබුනි...නමුත් දෙදෙනාම යටි හිතින් එය විඳ දරාගත්තේ දරුවන්ගේ සතුට තමන්ගේ සතුට වූ බැවිනි....

එක් සුන්දර වු සෙනසුරාදා හවසක ඔබත් අම්මාත් අක්කාත් තාත්තාත් අපේ නිවසට පැමිනියෝය......සතුටු සිනා වැල් ගලාගියේය.......

අපි අපේම වන්නට ප්‍රතම අඩිතාලම දැමුවෙමු........

නමුත් එදින මහා අසුභ නිමිත්තක පෙරනිමිති දැක්කේ මා නොව මගේ අම්මාය.....ඒ ඔබ සියළු දෙනා අපේ නිවසට එනවිට එක් වරම විදුලිය ඇන හියේය....

අනේ මංදා හිතට මොකද්ද වගේ......

Monday, January 30, 2012

ඇයි ඔයා පූසෙක්ද....? ...................(බිඳුණු පියාපත් -16)

බොහෝ ඉරිදා දිනයන්හි නුඹ මා හමුවීමට පැමිණේයි.කුරුණෑගල මීගමුව මාර්ගයත් කොලඹ මීගමුව මාර්ගයත් ඇස් පියාගෙන ගියත් කියන්නට හැකියාවක් මට ලැබුණේ ඒ නිසාය.....

එතැන් පටන් ඇරඹුණ අපේ ප්‍රේම කතාව සුන්දරව ගලාගියේය,,,,,හිත් රිදවීම් නැති තරම්ය.....පිටු ගන්නක් පුරා මාසය අවසනදී නිවසට එන දුර්කථන බිල මට මහත් හිසරදයක් වුයේ අප්පච්චී නිසාය.

මොකද මේතරම් බිල් එකක්.එක දිගටම තියෙන්නෙ අගට 86 න් ඉවරවෙන නොම්මරයක්..................

මට කියන්නට දෙයක් නැත...අප්පච්චී කියන්නේ සහතික ඇත්තකි.....
අම්මාට කුණු කුණු ගා ඉල්ලා ගන්නා මුදල් බිලට වැය විය....

අප්පච්චී සමග එකතු වී අන්තිමට  ඇයද මට බැනේ කාලද ඇඳලද මේ....හුලඟෙ පාවෙලා යන වචන පේලි වලට වියදම් කරන්නේ මොකද ලමයො?

මම මුණිවත රැක්කෙමි......අම්මල මොනව කියනවද මංදා..හිතින් හිතමින් මම හැමදාම පැය ගනන් අල්ලාප සල්ලාපයේ යෙදුනෙමු......

දිනක් සිදුවූයේ හොඳ වැඩකි...

මධ්‍යම රාත්‍රියේ සිටම කතා කරමින් සිටි නිසා මගේ ජංගම දුරකථනය බොහෝ වේලාවකට ක්‍රියාවිරහිත විය..

මහ රෑ කාට බය වන්නද...අම්මාත් අප්පච්චීත් හොඳ නින්ඳේය.

ගෙදර දුරකථ්නය ලඟට පිය මැන්න මම රිසිසේ කථාකරමින් සිටියේ කළුවරේය...එක පාරටම අප්පච්චී දොර ලඟය...

ලොක්ක මොකද කරන්නේ?

රිසිවරය පැත්තකය....

මේ මේ මීයෙක් පැන්න....ඌව හොයන්න ආව....කළුවරේ කිසිදෙයක් කියන්නට සිහිනොවූ තැන මා පැවසුවෙමි..

ඇයි ඔයා පූසෙක්ද..අප්පච්චී තරහෙන් විමසුවා මට මතකය.....

දැන් හිනා යන මතකයක් තිබුනාට....එදින පුරාවට මට අප්පච්චී දෙසවත් හිස උස්සා බලන්නට අපහසු විය

හදිස්සියේ රිසිවරයත් දමා අහකට ගිය නිසා අනෙක් පස සිටි ඔබට අපේ සංවාදය ඇසී ඇත...එතැන් පටං.....නංගා.....ඔයා ඇත්තටම පූසෙක්ද?????

මා තරහ  ගියහැම විටම ඔබ එය කියා මා හිනා ගස්වයි...........................................මතකය සුන්දරය.......

ඔබේ සිනා ළඟ නෙතු නැවතුනුදා..ඔබේ කතා ළඟ මුව ගොළු වූදා ප්‍රේමය හැඳින්නෙමි........(15)

(බිඳුණු පියාපත්)



කිසිදා අමතක නොවෙන ආකර්ෂනීය හිනාවක් සමග ඔබේ මුව මඩල දුටු මට කතා කිරීමට අමතක විය.
නගින්න.....

දෙවරක් නොසිතා මම රියට නැගුනෙමි.අපි කොහෙද යන්නේ ?..ම්ම්ම් යමුකො...

එතැන් පටන් මගේ කටට නිවනක් නොවුනි....ඔබ සිනාසෙමින්  ඒ කතා අසමින් සිටියේය......

අප බොහෝ දෑ කතා කලෙමු.....නුඹ මා සමගම අවුත් මගේ නවාතැනෙන් මා බස්සවීය.ඔයා මොනාද රැට කන්නේ? මං ගෙදරින් කෑම එකක් ගෙනාව.
ඒක මට දෙන්න....ඔබේ සරලකම මා දුටුවේ එදිනයරාත්‍රියේ මා නුඹ ඇමතුමක් දෙතැයි බලාපොරොත්තු වුවද ලැබුනේ එස්.එම්.එස්.එකකි....VERY TASTY.......
එහි සඳන් වී තිබ්නි.

දින දින ගෙවී ගොස් ඊළඟ සතියේ ඉරිදා දිනය උදාවිය..නුඹ නැවත මට ඇමතුමක් දුන්නෙය...සුමුදු...අද මේ පැත්තෙන් එනවද? සිතන්නට යමක් නැත....හා.. මම පිළිතුරු දුනිමි

නැවතත් මම මීගමුවට තනිව පැමිනියෙමි....

 අපි මීගමු සුන්දර මුහුදු තීරයේ ඇවිද ගියෙමු....ඔබ කඩවසම්ය... මා ඔබට වශීවී ගොස්ය....



මතකය කෙසේ අමතක වේද?

දින සති මාස ගෙවීගියේ අප නොදැනිමය.නුඹට මමත් මට නුඹත් නොදැක සිටීමට අපහසුවූයේ එලෙසටය.
 තවත් ඉරිදා දිනකි...සුමුදු මම ගම්පහ STATION එකේ ඉන්නවා.ඔයා බහින්න.මරදානට ප්‍රවේශපත්‍රයක් රැගෙන තිබුනද මම ගම්පහින් බැස්සෙමි.සිනාව රැඳි නුඹ මා ඉදිරියේය.

අපි නමක් නොදන්නා මුහුදුවෙරලකට ගියෙමු...හිරු බසිනා තුරු අප කතා කලෙමු..

ප්‍රථම වතාවට නුඹ මගේ අතින් අල්ලාගත්තේ මගේ සිත සතුටින් දෝරගලා යත්දීය...කියන්නට වදන් මට තිබුනේ නැත.

 අපි ආපසු එන්නට හැරුනෙමු.....නිහඬ බව අප දෙදෙනා තුලම විය...

තවමත් අපි පෙම්වතුන් නොවෙමු.....නමුත් දැන් නම් මට මිතුරුකම එපාවී සිටියෙමි..... මේ සරල,ගුණගරුක,කඩවසම් ,මිතුරා... මගේ පෙම්වතා වන්නේ නම්......

ඇයි      ---  අපි හම්බවෙන්නේ?? මගෙන් පැනයකි....
නිහඬ බව බිඳ දමා

ඇත්තටම

මම ඔයාට ආදරේ නිසා..........

සතුටින් උඩපනින්නට හැකියාවක් තිබුනානම්...ලොවට ඇසෙන්නට කෑ ගසා කියන්නට හැකියාවක් තිබුනානම් සත්තකින්ම මම එය කරමි.නමුත් මද සිනාවකින් මගේ සිතේ අපමන සතුට  විඳ දරාගන්නට මට සිදුවිය..

වචන වලට එම සිදුවීම පෙරලන්නට දැනුදු මා අපොහොසත්ය......සුන්දරම සුන්දර වචන පේලිය.... දැනුදු මට ඇසේ

Sunday, January 22, 2012

මචන්......................................




අද මට පාසැල් කාලයේ මිතුරියක්  ඇමතුමක් දුන්නා,,ඇයත් සමග ආ ගිය තොරතුරු ඒකී නොකී කතා පැයක් පමන කතා කරලා තමයි ඇමතුම විසන්දි උනේ ......

ආයමත් මට මතක් උනේ අපේ සොඳුරු අතිතය...පාසැල් සමය......
මගේ මිතුරිය මුස්ලිම් ආගමේ....ඇය ඉතා නීතී රීති සමුහයක් මැද හැදිවැඩුනෙ.....
මේ කාලයේ අපි සාමාන්‍ය පෙල කරන අවදිය....

 ඒ දවස් වල හැමදාම සති අන්තයට පංති...ඇයත් මමත් ගණිතය සඳහා ගියෙ එකම පංතියකට...පාසැලෙදීත් එකටම වාඩි වී දුක සැප බෙදා හදා ගත් මගේ එක් අති ජාත මිතුරියක් ඇය...

අපි හැමදාම නොවරදවාම පංතියට ගියෙ ගණිතය ඉගෙන ගැනීමේ පරම චේතනාවෙන්..නමුත් කාලය ගෙවී යත්දී  මටත් හොරෙන්ම මගේ මිතුරියට මල්සරා ඊයක් විදල........




දැන් මොනවා කරන්නදා...... දෙදෙනාම නෙත්‍රා පූජාවක් පාඩම අස්සෙ....

 නමුත් කතා කරගන්න අවස්තාවක් තාම මේ දෙන්නට ලැබුනේ නෑ...
Autograph මොනවහරි ලියල දෙන්න කියල ඒ සහෝදරයට යවල තමයි කතාවට මූලික පියවර තිබ්බේ

කොහොම හරි කාලයක් තිස්සෙ කට්ටක් කාලා දෙන්න ආදරය කරන්න පටන් ගත්තා....

බොහොම හෙමින් ආදරය ගලා ගියා.


 දිනෙන් දින ගෙවුනා......අපි සාමාන්‍ය පෙලට මුහුන දූන්නා....

අර සහෝදර පාසැලේ සහෝදරයා එයාගේ ගම් බිම් බලා පිටත් උනා....මිතුරියට දුරකතන පහසුකම් තිබුන මිතුරාට දුරකතන පහසුකම් තිබුනේ නෑ.......


සතියක් ගත උනා..මිතුරාගෙන් කිසිම තොරතුරක් නෑ.ලිපියක් නෑ....මගේ මිතුරිය නාහෙන් අඬනවා...

 ලිපියක් යවන විදිහකුත් නෑ..ගෙදරට අහුවෙන නිසා.

මගෙ හිතට අදහසක් ආවා.......

අපි යවමු ටෙලිග්‍රෑම් එකක්.........හිකිස්

ඔන්න ඒකමතික තීරනය.....තැපැල් කාර්යාලයට ගිහින් ගෙනාවා ෆොර්ම් එකක්....


පටන් ගත්ත

------මචන්

බදාදාට  10.30ට Public Library  එක ලඟට වරෙන්


 ලියුවා.....අන්තිමට යෙහෙලියගෙ surname එක...

 ඔන්න යැව්වා.....කොහොමද මගේ අදහස..මිතුරිය මට පින් දෙනවා.....

ඔන්න ඒ බදාදා උදා උණා....ඇයත් සමග මට එතැනට යන්න බැරි උනා....

ඇය තනිව ගොස්.......

මෙන්න ඉන්නවලු ඇගේ පෙම්වතා....පියාත් සමග..........බැබලෙමින් පුස්තකාලය ලඟ....

 මිතුරියට කරකියාගන්න දෙයක් නැතිවෙලා නොදන්න ගානට ගිහින් පැයක් විතර පත්තර බලලා....හෙමිට ගිහින් ගේට්ටුව ලඟත් බලලා තාත්තයි පුතයි ඉන්නවලු.බැරිම තැන තාත්තා පුතාට කියල ගෙදර යමු කියලා

මිතුරාට කරගන්න දෙයක් නැතිව ආපහු ගිහින්.....අනේ මගෙ මිතුරිය කවදාවත් නොකියවපු පත්තර ටික කියවල හෙමිහිට ගෙදර ගිහින්......

 මදෑ දෙන්නා ඉස්සරවෙලාම හම්බෙන්න හිටියා.....





පස්සෙ දනගත්තු හැටියටනම් තාත්තා කොහොමටත් එදාට කුරුණෑගලට එන්න ඉඳල තියෙන්නෙ....සැකයක් හින්දා නෙවේලු එතැනට ආවේ

එන්න එපා කියන්න මිතුරට බැරි නිසා තාත්තා එක්කම එතැනට ඇවිත් හිටගෙන හිටියළු අඩුම තරමේ ආපු එකේ දැකලවත් යන්න ඕනෙ හිංදා
පස්සෙ කාලෙක ඒ ආදරයත් පාසැල් කාලය වගේම අතීතයට එකතු උණා

Thursday, January 19, 2012

ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු හැම දේ තවමත් මගේ මතකයේ රැඳේ........................(14)

අපි දින පතා නොවුනත් බොහෝ විට දොඩමළු වුයෙමු...එකල මට තිබුණේ සෙල්ටෙල් නොම්මරයක් වු අතර ඔබට තිබුණේ ඩයලොග් නොම්මරයකි.දැනට වසර 6 කට දුර අතීතයේදී දුරකතන බිල ගැන නොකිව මනාය.නමුත් බිල මගේ නොව නුඹේය.නුඹ එය ගනනකටවත් ගත්තේද නැත..

දිනක් මට සවස් යාමයේ ලැබුනේ නන්නාඳුනන ඇමතුමකි...
හෙලෝ......
මම කතාකරන්නේ.....අම්මා දුව....පුතාගේ ෆෝන් බිල් වල මේ නො එක තිබුනා කීප සැරයක්ම.....

ආනේ ආන්ටි..එයා මගේ හොඳ යාළුවෙක්..අපි කතා කරනවා...මා හැකි තරම් විනීතව පිළිතුරු දුනිමි...

අනේ ආන්ටි මම එයාව දැකලවත් නෑ,,,

ම්ම්.... මම නිකමට දුව කතා කලේ....අම්මා මගෙන් විස්තර අසා දුරකතනය තැබුවාය.."

අනෙක් පසට ඔබට ඇමතුමක්  ගත් මා "මාර වැඩේනෙ උනේ ඔයාගේ අම්මා මට කතා කලානේ....

මා සිතුවේ ඔබ කලබල වේ යයි කියාය....නැත....අනෙක් පසින් ඇසුනේ සිනාවකි...ඉතිං මොකද කීවේ..අපේ අම්මා හොඳයි නේද???

අප අපවම  නොදැක දිනෙන් දින ලංවෙමින් සිටියෙමු......


මම ඔයාව බලන්න  දැන් කැම්පස් එක ලඟට එනවා...මම ඉන්නෙ එහා ග්‍රවුන්ඩ් එකේ flight එකක් ආවා..ඉක්මනට එන්න පුළුවන්ද?

අනේ දැන්?? ඔව් මට දවස්කීපයකට කතා කරන්න වෙන්නෙත් නෑ..හදිස්සි ගමනක් යන්න වෙලා...
ආයෙමත් එන්නෙ සතියකින්....

කමක් නෑ..ආපුවාම කතා කරන්න....මම කීමි.ඔබ ඊට එකඟ විය....වීරයා මෙන් පැවසුවද සතිය මට කල්පයක් සේ දැනුනි.

එදින සුන්දර ඉරිදාවකි..මා නැවත කොලඹ යාමට දුම් රිය පලට ගියෙමි...
දුම් රිය ප්‍රමාදය....පැයක්...මා බසයේ යාමට කම්මැලි වු නිසාම එතැනට වී සිටියෙමි.

දුරකතනය නාදවිය.ඒ ඔබය.... මා ප්‍රීතියෙන් පිනා ගියෙමි....කවද්ද ආවෙ...අද මේ දැන්...

ඔයා කොහෙද? බලන්නකො අද train late නේ...මම station එකේ

wow  එහෙනම් අද එන්න මේ පැත්තෙන්....මම ඔයාව ගන්න එන්නම් stand එකට
මා දෙවරක් සිතුවාදැයි මට මතක නැත....
කිසිම දිනක තනිව ගොස් නොමැති මීගමුව බලා මම ගමන ඇරඹීමි....
නුඹ මා එනතෙක්ම විටින් විට ඇමතුම් දෙමින් මා කොහෙදැයි සොයා බැලුවේය....

පැය එකහමාරක පමණ ගමනකින් පසුව මා නුඹේ නගරයට පැමිණියෙමි...

නමුත් මා සිත් ගැහෙමින් පැවතුණි.
ඔයා මොන clour එකක්ද ඇඳන් ඉන්නේ?
black sleeveless  blouse pink skirt with red bag...

එම දෛවෝපගත මොහොත උදාවිය...

සුදුපාට ශෙරිනා වර්ගයෙ වෑන් රතයක් මා ඉදිරිපිට නැවතුනි....
 ඉදිරිපස දොර ඇරිනි.

මා සිත වශී කල සිනා පිරි කඩවසම් රුව මා ඉදිරියේය

Monday, January 16, 2012

මතක වස්තුව.....(13)

අමතක උණේ නැත
මට නුඹව...
පෙරදා මෙන්ම සිතට එන
සිතුවිලි අතර
තවමත් නුඹ සිටී
දයාබර මා සබඳ

සිතන්නට එපා කෙදිනකවත්
අමතක වී ඇති බවට
මට නුඹව

කෑ ගසා හඬන්නට
අඳුරට වී ඉකිලන්න
නොහැකිවුවත්
පෙරමෙන්ම මට
මනින්නටට එපා
වියළුන කඳුලකින්
ඔබට තිබූ ආදරය


ජීවිතය තව මගෙක
යනමුත් මා රැගෙන
අතීතය එලෙසමයි
පෙර විලසටම
නුඹේ ඔය සිනාව
දුටිමි සිහිනෙන්
දිනෙක
නැවත නැවතත්
පිච්චී ගියේ මගේ හදවත
ඔබ මතක් වූ නිසාමයි නැවත...

බිඳුනු පියාපත් - හිමී- අහිමි...................(12)

දිනක් සවස් යාමයේ මගේ දුරකතනයට පැමින තිබුනේ නාදුනන අංකයකින් කෙටි පණිවිඩයකි..නාදුනන නිසා එයට මම පිළිතුරක් නොයැවිමි.දිනෙන් දින දුරකතනයේ සඳහන් වා කෙටි පනිවිඩ වැඩිවන්නට වූ අතර එහි වුයේද එකම අංකයකි.

දිනෙක එම නාදුනන පුද්ගලයා මට ඇමතුමක් දුන්නේය......

දෛවය නුඹ මට මුන ගැස්වූයේ එලෙසටය....

බෙහෙවින්ම මිත්‍රශීලි හඬක් මට ඇසුනි.

සමීපතම සුහද සහෘදයෙකු මෙන් නුඹ මමත් සමග දොඩමළු විය... එය ආගිය තොරතුරු වලට පමණක් සීමා විය....

HAY BOYS A LIKE CUNNING FOX.....I WANT TO KNW WHO A U FIRST ....


මම පැවසිමි...නුඹ මා විහිලුවකට ගෙන සිනාසුනේය......මම ඔයා ගැන දන්නවා ගොඩක් දේවල්..වෙලාව ආවාම කියන්නම්....ඔබ මට පැවසුවේය....

දිනෙන් දින ගෙවී යත්දී අපි සුහද මිතුරන් වීමු....මා ඔබෙන් දුරඇමතුමක් බලාපොරොත්තු විමි.ඔබ මට නොකඩවා ඇමතුම් දුන්නේය.එය ආගිය තොරතුරු....වලට සීමා  විය.මා මෙන්ම නුඹත් සංගීතයට ප්‍රිය කල නිසාවෙන්ම අපි දෙදෙනා ගීත ඇසුවෙමු...මා එක් ගීතයකට කැමතී යයි පවසන විට අනික් පසින් මා කැමති ගීතය අසන්නට ඉඩ සලසා දුන්නේ නුඹය..නුඹට මා වශී කරවා තරමේ කටහඬක් විය...

දිනෙන් දින ගත වුනි..අප සිතින් බොහෝ සේ ලං වුවත් නොදැකි මිතුරන් වීමු..

මට ඇත්ත කියන්නකෝ...ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක දැනගත්තේ....නමුදු මට පිළිතුරක් නොවුනි...

කාලය ගතවිණි....හදිසියේ කාලයකින් මට ඇමතුමක් නොදුන් මගේ මිතුරෙකු මට කතා කලේය....

ආ නංගී කොහොමද ?

හොඳින් ඉන්නවා අයියා....මං ඔයාගෙන් අහන්නමයි හිටියේ..ඔයා කාටහරි මගේ නො :එක දුන්නද?

ඇයි ??
නෑ මට ----- කියල කෙනෙක් කතා කරනවා..
ම්ම්ම්ම් මොකද ඉතින් කියන්නේ??

අනේ කියන්නාකෝ ඔයා දුන්නා නේද ?

එයා හොඳ කෙනෙක්..ඔයා කතා කරන්න..

නන්නාදුනන ඔබ මට ලංවූයේ එලෙසටය....කිසිවකුත් විශ්වාසකරන්නට බැරි අපේ කාලයේ...මා ඔබව විශ්වාස කලේ කෙලෙසකදැයි මට නොතේරේ...

Monday, January 9, 2012

බිඳුණු පියාපත්.....(11)

නුඹේ කාර්ය බහුල ජීවිතයත් සමග මා ගැන සොයා බැලීමට නුඹට තිබූ අවස්ථා ඉතා අල්ප  විය.....

ඒ ඔබ ඔබේ මව්බිමට නුඹේ යුතුකම් නොපිරිහෙලා ඉටු කල නිසාවෙනි.නුඹ නුඹේ උපන් දේශයට  ණය නැති වීර පුතෙකි.ඒ නිසාම මා ඔබේ වීම ගැන ආඩම්බර වූයෙමි.
 නුඹේ ජීවිතය ගැන කිසිදු අයුරක අවිනිශ්චිත භාවයක්  මගේ සිත තුල නොවුනි.යුද්ධය අතර තුරවත්  නුඹේ ජීවිතයට අනතුරක් වේ දැයි සිහිනෙනුදු නොසිතුවෙමි.

මා වසනා මෙලොවට වඩා මරණින් මතු ලොව ඉතා සැපවත් යයි මා අසා ඇත්තෙමි.සමහරවිට  නුඹ එහි සතුටින් සිටිනවා විය හැක..

නමුදු ඔබට මගේ අඩුව දැනෙනවා ඇත.

දඬු මොණරය මගේ සියළු අපෙක්ශාවන් නුඹේ ජීවිතයද සමග විනාශ කොට තිබුනි.කෙදිනකවත්  නුඹේ අවසන් ගමන ගුවන් අනතුරක් නිසාවෙන් සිදුවෙතැයි මා බලපොරොත්තු නොවුයෙමි.
නමුත් එය එසේ සිදුවිය....ඒ  ...අවාසනවන්ත  මොහොතෙදී නුඹට  කුමක් සිහිවන්නට ඇත්ද ...?

මම...මංගල දිනය....අම්මා තාත්තා...අක්කා....නුඹේ සිහින බොඳ වී යන අයුරු නුඹට දැනෙන්නට ඇත.නුඹ වෙදනාවෙන් කෑ ගසන්නට ඇත.බය වන්නට ඇත...අනතුර වලක්වා ගන්නට උපරිම උත්සහය දරන්නට ඇත.....

අවසන.......... නො එන ගමන් යන්නට ඇත

දන්නේ නුඹ පමණකි......වේදනා වින්දේද නුඹ පමනකි..


නුඹේ සිහින ගැන දන්නේ මා පමනකි.දෛවය අකාරුණික ලෙස  සිහින දවා අළු කර දැම්මේය.
ගුවන් යානයක් යනු සෙල්ලම් බඩුවක් නොවේ. ඒ බැව් අදාල නිලධාරීන්ට නොතේරුන නිසාවෙන්ම ඔබේ ජීවිතය දැයට අහිමි විය.

කෙසේ නමුත් කවරදාක හෝ ඔවුන් එයට වන්දි ගෙවනවා ඇත......

දිට්ට ධම්ම වෙදනීය කර්මය පලදීම කෙසේ වෙතත් ඔවුන්ගේ හර්ද සාක්ශිය  හිතට  මරන මංචකයෙදි  හෝ  එරෙහි වනු ඇත.....
සියල්ල අකාරුනික ලෙසට එසේ සිදුවී අවසන්ය.....නමුත් තවමත් නොවෙලුන කඳුලු බිඳු......නොදැනිම පොලව සිප ගන්නේය.

බිඳුණු පියාපත්......(10)





මගේ ජීවිතය අළුතින් ගොඩනැගීමට හැකිවන්නේ කෙලෙසක්දැයි මට තේරුමක් නැත(මේ අතීතයයි...අනාගතයේ සුභ ලකුණක සේයාවක්වත් නොතිබුනු ඒ කාලයේ සිතින් සිතුවේද ඔහු ගැනම පමණී.

නුඹේ වාරුව නොමතිව මගේ ජීවිතය ඔහේ පාවුනු වලාකුලක් වී තිබුනි.
නුඹ මගේ ජීවිතය ඒකාලෝක කලේය.නුඹේ මුලු ජීවිතයම මා වටා ගොඩනගා ගත්තේය.

ජීවිතය මහ පුදුමාකාරය ...දෛවය ඊටත් වඩා පුදුමාකාරය "ජීවිතය යනු දෛවයද ? දෛවය යනු ජීවිතයද ? යන්න මා නොදනිමි...නමුත් ඒ වන විට දෛවය කුරිරු ලෙසට අපට සරදම් කර තිබුණි.

දෛවයේ සරදමක් නිසා මට නුඹ මුණ ගැසුනේ යයි මම නොකියමි.මන්ද කිසිම දිනෙක නුඹ මා සරදමකට නොගත නිසාය.නුඹ මට මුන ගැසුනේ පෙර පිනකිනි.නුඹ වන් සුහද පෙම්වතෙකු මට මුන ගැසුනේ ටික කලෙකට හෝ මගේ ලැබීමටය.
 ජීවිතය යනු මහා මායාවක් සිත රවටන මිරිඟුවකැයි මට තේරුනේ නුඹ හැරගිය පසුය.

අප දෙදෙනා ආදරය කල කාලය කෙතරම් සුන්දරද? මෙතරම්ම යයි කිව නොහැකි සුන්දරත්වයක් අප දෙදෙනාම අත් වින්දෙමු.
නැවත යන්නට නොහැකි වූ නමුත්...නුඹ මට ආදරෙයි පැවසු නමක් නොදන්නා මුහුදු වෙරල මගේ මනසේ විචිත්‍රවත් චිත්‍රයකි.
මම නුඹෙන් ඉගෙන ගත් දේ අපමනය.ජීවත් වෙන්නට අපුරු පාඩම් ඔබ මට කියා දුන්නේය.
නුඹ කිසි විටකත් අනුන්ගේ දොස් මා සමග නොකියූ අයෙකි,නුඹ ගැනම පමනක් කතා කල අයෙකි.

පුරා සිව් වසක් තුල අප කතා කලේ අප ගැනම පමනි

Friday, January 6, 2012

බිඳුණු පියාපත්.....(9)

නුඹේ කට හඬ අසන්නට නොහැකිව එක පැයක් සිටීමට නොහැකි වූ මා  දින සති ගෙවී යන තෙක් නිසොල්මනේ සිටියේ දුක දරාගත යුතුව ඇත්තෙද මා තනිවම නිසාය.හිත හදා ගැනීමට අපමන් උත්සහයක් ගත්තද එය කිරීමට පහසු නොවේ.

මංගල දිනයට අඳින්නට ගත් මංගල සාරිය දැකීමට නුඹට තිබුනේ මහත් උවමනාවකි.




ඔයා කවද්ද එන්නේ....මම නුඹ ආපසු ගිය දිනයේ සිට අසමි.....තව කල් තියනවා නංගා.නුඹ පවසන්නේ එසේය.

 26 රාත්‍රිය පුරාවට මම නුඹත් සමග දීර්ඝ සාමිචියක යෙදීමට උත්සහ ගත්තද ඔබ මිතුරන් සමග විනෝද වෙමින් සිටි  නිසා මම නින්දට ගියෙමි...ඒ ඔබේ අවසන් රෑය බව මට දැනුනි නම් කතා දෙකක් නැත....මම කෙසේ හෝ ඔබ සොයා එන්නෙමි...

27 දිනට පහන් විය.උදෑසන මම නුඹට කතා කලෙමි...පස්සේ කතා කරන්නම් නංගා...කියු ඔබ හරියටම 10.34 ට මට ඇමතුමක් දුන්නේය.....

දැනුදු මගේ හද දැවි....පිච්චීඉ...අළුවී යයි

මට ලැබුනු.....නුඹේ අවසන් ඇමතුම.....
යලි කිසි දිනෙක මට ඒ හඬ අසන්නට ලැබෙන්නේ නැත.....

මගේ හිතට විසල් දුකක් රුදුරු තනිකමක්,උරුමකොට දී නුඹ ඊට පැය කිහිපයකට පසු මෙලොවම අතැර ගොස් සිටියේය.

ජීවිතය අස්ථිර බව මමද දනිමි.නමුත් මෙතරම් ඉකමනින් එසේ වුයේ ඇයි...

දෑස් පිය ගත්තද  දෑස් හැරගෙන සිටියද නුඹේ ඔය අහින්සක සිනාව මට පෙනේ.එය මගේ මනසේ තැන්පත් වී ඇති අමරණීය මතකයකි.

නුඹ මෙලොවින් සමුගෙන ගොස් ගෙවුනු පලවෙනි රැය තරම් දිගු රාත්‍රියක්මට මතක නැත.ඇහි පිල්ලමකුදු පියවීමකින් තොරව එදින මුලු රාත්‍රිය පුරාවටම මම නිදි වර්ජිතව සිටියෙමි.කොහේ හෝ සිට හිඳන් නුඹ එතැයි අවසන් මොහොත දක්වාම මා විස්වාස කලෙමි.

නුඹේ ශරීරය මා දුටුවද ඒ නුඹ යයි විශ්වාස කිරීමට තරම් සාක්ශියක් ඒ තුල නොවුනි.ඉතිං කෙසේ නම් මා නුඹ මිය ගොස්දැයි  අදහන්නද


විටෙක මට සිතෙනවා..
මැවි මැවී පෙනෙනවා
නුඹේ ආගමනය....
නැවත අප අතරට..
ආශ්චර්යකින්වත්
නැවත පැමිනියොත් නුඹ
කෙතරම් සැනසීමක්ද
එය මා හට..
අප සැමට...

සිතා ගන්නටවත් නොහැක
මට මා ගැනම
සත්තකින්ම ඔබ ඒවිද
උඩ පනිමි කෑ ගසමි...
වැලඳ ගමි...හාදු දෙමි...
හඬමි නැවතත් සිනාසෙමි
කරකැවී නුඹ වටා................


ඇත සිතේ සිතුවිල්ලක් නුඹ එතැයි
නොදනී සැබෑවෙදැයි කෙදින
මවමි මම නුඹේ සිනාව
නුඹේ කතාව...
සිහිනයෙන් විත්
මාව රවටන නුඹ ගැනම...................

තවත් එක් වරක් වත්
හැබහින්ම දැක ගන්න
වරම් ඇත්නම් මෙමට
සත්තමයි මා සබඳ
එපාමයි මට නිවන...............