Followers

Monday, July 8, 2013

මතක

ආදරණීය අම්මාගෙනුත්..අප්පච්ච්ගෙනුත් කිරිබත් කටක් රසනොබැලු එකම අවුරුද්ද 2013...හිතට දුකකි...ඒත් තවත් සාමාජික්යෙක් සමග අවුරුද්ද පුලුවන් විදිහකට සැමරීමට හැකි වීම හිතට සතුටකි....අම්මා අප්පච්චී සමග මගේ පැටියා දෝතට ගන්නට ඇඟිලි ගනන් කරන බව මතක් වෙන විට නොදැනීම නෙතු අග කඳුලකින් තෙත් වේ...
මතක ඇති කාලයේ සිටම අවුරුද්ද එනතුරු මම මග බලා සිටියේ අළුත් ඇඳුම් නිසාය..අම්මගේ නෑයන් මට හිත පිරෙනතුරු ඇඳුම් දුන් කාලයක් විය..ඒ මගේ ළමා කාලයේ සිට පාසැල් අවදිය ඉවර වෙනතුරුය..නා නා විධ මෝස්තරයෙන් යුතු ඇඳුම් ඇඳීම මගේ එක් විනෝදාංශයකි,අදටත් එය එසේමය..මාස හයක් වුවත් මගේ පුංචි පුතාත් නේකවිධ ඇඳුම් ඇඳ කැඩපත ලඟ හැඩ බැලීමට මා මෙන්ම ආසාය...අපේ අම්මා කියන්නෙ අම්මා වගේම පුතා කියාය.... අවුරුදු ගනනාවක් කල් රැකියාවේ මා ලද එකම දායාදය ඇඳුම් විතරම යයි අම්මා නොයෙක් වර කියයි...ඈ බලා සිටියේ මා බැලීමට එන මනමාල මහත්මාට මාගේ ඇඳුම් එකතුව වැල්වල එල්ලා මේ ඈ කල ඉතිරියයි කියාපෙන්වීමටය ( හොඳ වේලාවට මා මෙන්ම ඇඳුමට ප්‍රිය මහත්මයෙකු මට ලැබුණි )අවුරුදු ලබන තෙක්ම අපට අවුරුදුය... අවුරුද්දට සතියකටවත් කලින් ගන්නා අවුරුදු බෝනස් ද..මාසික වේතනයෙන්ද වැඩි කොටසක්ම අවුරුදු පහක් තිස්සේම වැය වූයේ ඇඳුම් වලටමය...ශොපින් යනු ඒ දවස්වල සුන්දරම වචනයකි....හෙට අවුරුදු කියා ද අපි ලහි ලහියේ නෝ ලිමිට්,ෆැශන් බග්,හවුස් ඔෆ් ෆැශන් ,කැන්ඩි,ශේඩ්ස්,,ස්ප්‍රින්ග් ඇන්ඩ් සම්මර් ,කූල් ප්ලැනට්..අස්සේය...පසු කලෙකදී මම ශේඩ්ස් වඩාත් ප්‍රිය කලෙමි..

අවුරුදු දිනයට පසු දින එකිනෙකා පරයා..සතියක් පමණ අළුත් ඇඳුම් ඇඳීම අපේ කාර්යාල යෙහෙළියන්ගේ එකම කාර්යයයි.කෙතරම් යෙහෙළියන් වූවත් ඇඳුමට යහළුකම් දෙවෙනිය.මගේ එක් යෙහෙළියක් කිසිම විටක ඈ ගත් ඇඳුම කොහෙන්දැයි කියන්නේ නැත...මතක නෑ කියයි...

 දැන් දවසම නිවසේ රාජකාරිය...බොහෝ විට සති අන්තයේ ශොපිං පුංචිත්තාගෙ අප්පච්චීත් මමත්ය....ඒත්....ඒ කාලයේ හීන මැවූ සැපට ශොපිං යාම...ඒ කාලයේ කට්ටක් කා..අව් වැසි නොතකා..රැ බෝවී...පැය ගනන් බස් වල පුරා පැය ගනන් ලතවෙමින් ගිය කාලය මෙන් රසවත් නැත......
 කෙතරම් ඇඳුම් ගත්තද තව තිබ්බානම් හොඳයි කියා ඒ කාලයේ සිතුනි....දැන් කොයිතරම් ඇඳුම් දැක්කද ආසා හිතුනද...කාලය මැව් වෙනසක අරුමයට මමද එක්වී සිටිමි.....මම අම්මා වී ඇත...ඇඳුම් ලඟට ගොස් ඊලඟ මාසෙ ඉඳලා ජිම් එකට ගිහින් ඇවිත් මේවා අඳින්නම්කො කියා හිත හදාගෙන ලාර්ජ් සයිස් ඇඳුම් ඕනෙවට එපාවට ගනිමි...අනේ කිසිම දේකින් සැනසෙන්න බැරි මගේ හිත....


ආදරණීය මතක

පුංච්ත්තා සමග දවස ගෙවෙන විට අතීත මතක මහ ගොඩක් හිත පුරා සවාරි ගසයි... පුංචිම පුංචිකාලය,....මට මතක් වන්නේ පුංචිත්තා නිසාය...
අම්මාත් අප්පච්චිත් රැකියා කල නිසා පුංචි මම මගේ නිවසට ගියේ සති අන්තයේදීය...එතෙක් පුරා සතියක් අම්මාගේ මහගෙදරය...

මම එනකොට අප්පච්චි....
පැනි කුරුල්ලනේ..
මල්කොබේයියනේ
එන තැනකින් වරෙල්ලා
පුංචිපුතා ඇවිල්ලා

කීවේ

මම ආ සතුට හදවටම දැනුන නිසාය....

අනේ අයමත් අපි අතීතයේම ඉන්නවානම්........

කෑම කා සවසට ඇඳට ගිය විට මට කතන්දරයක් ඕනෑ වෙයි....අම්මාට වඩා කතන්දර හදා බොරුවක් හෝ කියන්නේ අප්පච්චීය....

ඔන්න ඉතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව රටෙන් යවන්න යන්නෙ වෙන රටකට..හිර කරන්න...දැන් රජතුමා නැවට නැගලා අපේ රට දිහා බලාගෙන මෙන්න මෙහෙම කියනවා...අප්පච්චී කවිය කියයි...
උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරූ
ඉතින් ආයුබෝවන් ලක් මව්නි ගරු..

මගේ හිතේ රූප මැවේ ...මම දුකින් හඬමින් අනෙ ඒක එපාආආ......වෙන එකක්....

ලියවුනේ නිකමටය...මතක පොත සාගරයක් නම් මේ ඉන් දිය දෝතකටත් වඩා අඩුය.....


අම්මේ මම ආයෙ ගෙදර එනවා.......

හිතට දැනෙන්නේ වචනයෙන් මට කියා නොම කල හැකි සුවයක් නොවේ.....ගුවන් යානයේ රෝද මගේ රටේ බිම ස්පර්ශ වන විටම මට සැමදා සිතට දැනෙන හැඟීමද ඇසට නැගෙන කඳුලද ලබන සතියේ දිනක  දෙගුණ තෙගුණ වී දැනෙනු ඇත...ඒ මම යන්නේ මගේ රට දැක නැති...මගේ රටට අයිති මගේ පුතා සම්ග නිසාවෙනි...





8 comments:

  1. Replies
    1. ස්තූතී මේ පැත්තට ගොඩවැදුනට....බ්ලොග් එක සිංඩියට ඇතුලත් කර ගත්තටත්...මාතලන්

      Delete
  2. පෝස්ටුව කියවද්දී http://www.buzzfeed.com/jessicamisener/30-signs-youre-almost-30 ලිපිය මතක් වුනා..
    සුභ ගමන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..හ්...ම්ම්...ඔබ හරි මමත් ඔය වයසෙ තමයි...දැන්

      Delete
  3. සුභ පැතුම්! මතක ගැන නං කතා කරන්න කොච්චර නං දේවල් තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතී ධාරා මේ පැත්තට ආවට..අමතක කළ නොහැකි මතක...

      Delete
  4. අක්ක ගොඩකාලෙකින් ලියල :)

    ReplyDelete
  5. හුඟක් පරක්කු වුනා ..අම්ම කෙනෙක් වුනහම අපේ පුංචි කාලේ හුඟක් මතක් වෙනවා නේද . වෙන රටක ඉන්නකොට කොච්චර ලස්සන ඇඳුමක් ඇන්දත් අර තමන්ගේ අය එක්ක ඉන්නකොට නැහැ නේද .

    ReplyDelete