Followers

Monday, July 8, 2013

මතක

ආදරණීය අම්මාගෙනුත්..අප්පච්ච්ගෙනුත් කිරිබත් කටක් රසනොබැලු එකම අවුරුද්ද 2013...හිතට දුකකි...ඒත් තවත් සාමාජික්යෙක් සමග අවුරුද්ද පුලුවන් විදිහකට සැමරීමට හැකි වීම හිතට සතුටකි....අම්මා අප්පච්චී සමග මගේ පැටියා දෝතට ගන්නට ඇඟිලි ගනන් කරන බව මතක් වෙන විට නොදැනීම නෙතු අග කඳුලකින් තෙත් වේ...
මතක ඇති කාලයේ සිටම අවුරුද්ද එනතුරු මම මග බලා සිටියේ අළුත් ඇඳුම් නිසාය..අම්මගේ නෑයන් මට හිත පිරෙනතුරු ඇඳුම් දුන් කාලයක් විය..ඒ මගේ ළමා කාලයේ සිට පාසැල් අවදිය ඉවර වෙනතුරුය..නා නා විධ මෝස්තරයෙන් යුතු ඇඳුම් ඇඳීම මගේ එක් විනෝදාංශයකි,අදටත් එය එසේමය..මාස හයක් වුවත් මගේ පුංචි පුතාත් නේකවිධ ඇඳුම් ඇඳ කැඩපත ලඟ හැඩ බැලීමට මා මෙන්ම ආසාය...අපේ අම්මා කියන්නෙ අම්මා වගේම පුතා කියාය.... අවුරුදු ගනනාවක් කල් රැකියාවේ මා ලද එකම දායාදය ඇඳුම් විතරම යයි අම්මා නොයෙක් වර කියයි...ඈ බලා සිටියේ මා බැලීමට එන මනමාල මහත්මාට මාගේ ඇඳුම් එකතුව වැල්වල එල්ලා මේ ඈ කල ඉතිරියයි කියාපෙන්වීමටය ( හොඳ වේලාවට මා මෙන්ම ඇඳුමට ප්‍රිය මහත්මයෙකු මට ලැබුණි )අවුරුදු ලබන තෙක්ම අපට අවුරුදුය... අවුරුද්දට සතියකටවත් කලින් ගන්නා අවුරුදු බෝනස් ද..මාසික වේතනයෙන්ද වැඩි කොටසක්ම අවුරුදු පහක් තිස්සේම වැය වූයේ ඇඳුම් වලටමය...ශොපින් යනු ඒ දවස්වල සුන්දරම වචනයකි....හෙට අවුරුදු කියා ද අපි ලහි ලහියේ නෝ ලිමිට්,ෆැශන් බග්,හවුස් ඔෆ් ෆැශන් ,කැන්ඩි,ශේඩ්ස්,,ස්ප්‍රින්ග් ඇන්ඩ් සම්මර් ,කූල් ප්ලැනට්..අස්සේය...පසු කලෙකදී මම ශේඩ්ස් වඩාත් ප්‍රිය කලෙමි..

අවුරුදු දිනයට පසු දින එකිනෙකා පරයා..සතියක් පමණ අළුත් ඇඳුම් ඇඳීම අපේ කාර්යාල යෙහෙළියන්ගේ එකම කාර්යයයි.කෙතරම් යෙහෙළියන් වූවත් ඇඳුමට යහළුකම් දෙවෙනිය.මගේ එක් යෙහෙළියක් කිසිම විටක ඈ ගත් ඇඳුම කොහෙන්දැයි කියන්නේ නැත...මතක නෑ කියයි...

 දැන් දවසම නිවසේ රාජකාරිය...බොහෝ විට සති අන්තයේ ශොපිං පුංචිත්තාගෙ අප්පච්චීත් මමත්ය....ඒත්....ඒ කාලයේ හීන මැවූ සැපට ශොපිං යාම...ඒ කාලයේ කට්ටක් කා..අව් වැසි නොතකා..රැ බෝවී...පැය ගනන් බස් වල පුරා පැය ගනන් ලතවෙමින් ගිය කාලය මෙන් රසවත් නැත......
 කෙතරම් ඇඳුම් ගත්තද තව තිබ්බානම් හොඳයි කියා ඒ කාලයේ සිතුනි....දැන් කොයිතරම් ඇඳුම් දැක්කද ආසා හිතුනද...කාලය මැව් වෙනසක අරුමයට මමද එක්වී සිටිමි.....මම අම්මා වී ඇත...ඇඳුම් ලඟට ගොස් ඊලඟ මාසෙ ඉඳලා ජිම් එකට ගිහින් ඇවිත් මේවා අඳින්නම්කො කියා හිත හදාගෙන ලාර්ජ් සයිස් ඇඳුම් ඕනෙවට එපාවට ගනිමි...අනේ කිසිම දේකින් සැනසෙන්න බැරි මගේ හිත....


ආදරණීය මතක

පුංච්ත්තා සමග දවස ගෙවෙන විට අතීත මතක මහ ගොඩක් හිත පුරා සවාරි ගසයි... පුංචිම පුංචිකාලය,....මට මතක් වන්නේ පුංචිත්තා නිසාය...
අම්මාත් අප්පච්චිත් රැකියා කල නිසා පුංචි මම මගේ නිවසට ගියේ සති අන්තයේදීය...එතෙක් පුරා සතියක් අම්මාගේ මහගෙදරය...

මම එනකොට අප්පච්චි....
පැනි කුරුල්ලනේ..
මල්කොබේයියනේ
එන තැනකින් වරෙල්ලා
පුංචිපුතා ඇවිල්ලා

කීවේ

මම ආ සතුට හදවටම දැනුන නිසාය....

අනේ අයමත් අපි අතීතයේම ඉන්නවානම්........

කෑම කා සවසට ඇඳට ගිය විට මට කතන්දරයක් ඕනෑ වෙයි....අම්මාට වඩා කතන්දර හදා බොරුවක් හෝ කියන්නේ අප්පච්චීය....

ඔන්න ඉතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව රටෙන් යවන්න යන්නෙ වෙන රටකට..හිර කරන්න...දැන් රජතුමා නැවට නැගලා අපේ රට දිහා බලාගෙන මෙන්න මෙහෙම කියනවා...අප්පච්චී කවිය කියයි...
උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙලමි දිවි තිබෙන තුරූ
ඉතින් ආයුබෝවන් ලක් මව්නි ගරු..

මගේ හිතේ රූප මැවේ ...මම දුකින් හඬමින් අනෙ ඒක එපාආආ......වෙන එකක්....

ලියවුනේ නිකමටය...මතක පොත සාගරයක් නම් මේ ඉන් දිය දෝතකටත් වඩා අඩුය.....


අම්මේ මම ආයෙ ගෙදර එනවා.......

හිතට දැනෙන්නේ වචනයෙන් මට කියා නොම කල හැකි සුවයක් නොවේ.....ගුවන් යානයේ රෝද මගේ රටේ බිම ස්පර්ශ වන විටම මට සැමදා සිතට දැනෙන හැඟීමද ඇසට නැගෙන කඳුලද ලබන සතියේ දිනක  දෙගුණ තෙගුණ වී දැනෙනු ඇත...ඒ මම යන්නේ මගේ රට දැක නැති...මගේ රටට අයිති මගේ පුතා සම්ග නිසාවෙනි...





Wednesday, March 6, 2013

පැතුම් පොදිය බිම තැබුවෙමි


දිනෙන් දිනට  එකතු කෙරුව
පැතුම් පොදිය බිම තැබුවෙමි
අමාරුවෙන් තෝර ගත්ත
පැතුම් තුනක් අතට ගතිමි
අපි දෙන්නා හැමදාමත්
ආදරයෙන් කල් ගෙවන්න
සැරෑටියෙන් යනෙන තුරා
ඔබත් මමත් එකට ඉන්න
අපි දෙන්නගෙ පුන්චි පුතා
රටක් වටින පුතෙක් වෙන්න
පතනවා මම හැමදාමත්
මගේ පතුම් සඵල වෙන්න


නැවත මට අමාරුවෙන් හෝ ලබාගතයුතු කිසිමදෙයක් නැතැයි හැඟේ....

ජීවිතය මට දුක නැමැති පාඩම මුලින්ම උගන්වා සතුට සම සමව ලබා දී ඇත

Thursday, November 15, 2012

විරුවෝ නොමැරෙත්

මුනු පොතේ  අද දැකපු  පිංතූරයක්  නිසා  මගේ හිතුවිලි අතීතයට ගියා......
මට හමු වූ සොඳුරු මිනිසා නුඹ.....
ජීවිතය අනපේක්ශිතව ගව් ගනණක් දුර අගාදයකට ඇද දැමුව ඒ අවසනාවන්ත සිදුවීම...නැවත හිත හදා ගෙන ජීවිතය ගොඩනගා ගැනිම.....
නුඹ හා සමානම සොදුරු මිනිසෙකු නැවත  හමුවීම...

රෙහාන්  නුඹ අපේ කාලයේ වීරයෙක්..ගුවන් පැය 2000 කට අසන්න ප්‍රමාණයක් සැරිසරා..රටේ එකීයභාවය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල නිර්භීත ගුවන් නියමුවෙක්.
2009 වසරේ නොවැම්බර් මාසයේ  එක මූසල සිකුරාදාවක නුඹ අපට නොකියාම යන්න ගිහින් තිබුනා........mi 24 ගුවන් යානයේ හදිස්සියේ ඇතිවු කාර්මික දෝෂයක් නිසාවෙන්.......(අපට දැනගන්න ලැබුනෙ එහෙමයි.නමුත් අතුරු කතා ගොඩක් ඒ සිදුවීම වටා ගෙතිල තිබුනා ඒ මට දුන්න අවසන් ඇමතුම නිසා)


ලකඹරේ පසුතැවුම

නුඹට මතකද මපුත
නම වසකට ප්‍රතම
නුඹ මගේ ඇකයට ආ...පලමු දින
සතුටු වුනි මම...තවත් විරුවෙක්
දායාද වු බවට ලක් අඹර වෙත......
යුද ගිනි දල් මැදින් ගුවන අරාවට....
නුඹේ විස්කම් දැක පැහැදුනෙමි...
සතුටු වූයෙමි...
ගුවන පුරාවට මගේ දරුවන් බොහෝමැයි අද
එත්  මා පුත ලබන්නට නොහැක
අහිංසක නුඹවන්  පුතෙක්  යලි
බද්‍රකල්පය පුරාවට මට.........
නුඹේ නෑසියන් ..නුඹේ ලබැදියන්..
ශෝකයෙන් භරිත වී බලයි මා දෙස ......
දෑත් දිගු කරමින් .....
බලන් මා පුත කඳුලු හංගා සිනාසෙමි මම....
සිතුනි නම් මට....
දැනුනි නම් මට....
එවන් විපතක් එදින.....
එවන්නෙමි මම අසනි වලාවක්
බුත්තල නුබ ගැබට..
පමා කෙරුමට නුඹේ අවසන් ගමන........
ඇකයෙන් ගිලිහුනද මා පුත...
නුඹ මගේමයි සදකාලික..........................
පැමින එක්වරක් මාවෙත
පානු මැන අවසන් ප්‍රාතිහාර්ය................


ඔබ ඉතා සරල හිත හොඳ මිනිසෙකු විය..නුඹේ  අසල්වාසියාවත් නුඹ මියෙනතුරු ඔබ  ගුවන් නියමුවෙක්

බව ට දැන සිටියේ නැත.නුඹ කෙතරම් නිහතමානිදැයි මා දැනගත්තේද එදිනය.....


මා ඔබෙන් අසන මේ ප්‍රශ්නයට ඔබ දෙන පිලිතුර මා දනිමි.....
කලගුණ නොදන්නා පිරිසකට......
තම දිවි පරදුවට තබා.....
සේවය කිරිමෙන් අවසන......
ඔබ ලැබුයේ කුමක්ද?

ඔබේ  පිලිතුර........මදහසක් සමග....... මං කලේ  මගේ රටට....ඔයා අහන දේ  හැමෝටම 
පොදුයි.

 දිනක් අනුරාධපුරයේදී වාහනය ධාවන නීති අතපසු වීමකින් කැඩූ ඔබගෙන් පොලිස් නිළධාරියෙකු හැඳුනුම්පත ඉල්ලද්දී එය දීමට ඔබ අදිමදි කලේ එය පෙන්වා ඔහුගෙන් වරප්‍රසාද ලබා ගැනීමට නොවේ, හැඳුනුම්පත නොපෙන්වීම නිසා අපට ටික වේලාවක් එතැන ගත කිරීමට සිදුවිය.ඔබේ අම්මා අන් මගක් නැති තැන ඔයා ඕක පෙන්නන්න කියා දස වතාවක් පමණ කියූ පසු එය රැගෙන ගියේ අකමැත්තෙනි....

ඔබ ආපසු ආවේ සිනාසෙමිනි....මොකද කීවේ... උඩ යන විදිහට බීම යන්න හදන්න එපා කීවා.......:)...:)

 ප.ලි

 මා දැන් සැතපුම් දහස් ගනනක් දුර රටක අළුත් ජීවිතයකය....අළුත් සාමාජිකයෙක් පසුගියදාක අප අතරට පැමිණියේය...ඔබ මගේ ජීවිතය යළි ගොඩනගා ගන්නට කොහේ හෝ සිට මට ආශීර්වාද කර සිටින බව මා තරයේ විශ්වාස කරමි......

මේ මළවුන්ගේ මාසයේ 27  වෙනිදාට ඔබ මේ ලෝකයෙන්ම සමුගෙන ගොස් වසර 03 ක් පිරෙනවා...

සොඳුරු නිහතමානී මා සබඳානෙනි......
මිනිසකුගේ ජීවිතය කොතරම් වටින්නේදැයි දන්නා ලංකාවක් යළි ප්‍රතිනිර්මානය වන යම් දවසක.....අපි ඔබගේ පැමිණීම යළි බලාපොරොත්තු වෙමු..

එතෙක් ඔබට ස්වර්ඝ රාජ්‍යයේ සුවබර දිගු නිවාඩුවක්.....


ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි වැඩක් නැතේ.................

 

Monday, November 12, 2012

අම්මාගෙන් ලැබූ කවිය...............

අභිසෙස් ලබා
මව් පදවිය
දිනුවා දිරිය දියණියක් ඔබ ලොව
නැගුණා සතුටු කඳුලු
නෙත් කෙවෙනි අග
පිපුණා ඉඳුවර පුෂ්පයක්
දසත සුවඳ විහිදුවමින්
පිඅ පදවිය ලැබූ
ඔබෙ සැමියාත්
මව් පදවිය ලැබු ඔබත්

රට , දැය සමය වෙනුවෙන්

එක් යුතුකමක්
ඉටුකලා සේ
දැණුනා
මගෙ හදවතට ♥ ♥ ♥
_____අම්මා & අප්පච්චි ______
(අම්ම මේක ලීවෙ පෙරේදා :) )

 කියවා හිතට දැනුනු දුක අපමණය....සැතපුම් දස දහස් ගනනක දුරක සිටියත් මට ඔබේ සුවඳ දැනුනි....ඔබේ අගය දැනුනි.....ඔබ මා වෙනුවෙන් විඳි දුක අපමණ යයි හැඟුනි....

Wednesday, August 29, 2012

ඔබ ලැබුනෙන් මා පින් කල බව දැනුනී....



අපි දෙන්නා හමු උනේ අහම්බෙන්....අහම්බෙන් ඇති උනු මිතුරුකම මාස 03ක් වගේ කෙටි කාලෙකින් "විවාහය"දක්වාම දුර ගියා....
අපි දෙන්නම ආදරයේ වේදනා ඇති පමණින්  විඳ තිබුණු  හින්දම ඉක්මනින් අපි අපේ වෙන්නම අඩි තාලම දැමුවා....මම නම් ඔබේ ඒ අදහසට එකපයින් කැමති උනේ ඔබව මට නැතිවේයි කියල හිතට දැනුනු හන්දාද මන්දා.....
ඔබෙන් මම දැකපු උතුම් ගතිගුණ වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
ඇත්තටම ඔබ  අහිංසකයි...දැන් දැන් මට තෙරෙන විදිහට නම් අහිංසක කමක් ගෑවිලාවත් නැති මාව මේ තරම් සුවච කීකරු බිරිදක් කරගත්තෙ ඔයාගෙ ඉවසීමයි අහිංසක කමයි කියල.ඇත්තටම මට එක වචනෙකින් වත් ඔබට රිද්දන්න හිත දෙන්නෙම නෑ....
 ඔයත් මාව වචනෙකින්වත් රිද්දන්නෙ නෑ....හුඟක් දේ හිතේ දරාගෙන හිත රිදුනත් මගෙ වචනෙකට හරි ඒ වෙනස්වීම මට නොපෙන්වා හැමදාම එකවගේම ආදරේකින් ඉන්න ඔයා ලැබීමට මම වාසනාවන්ත උණා

අපේ අම්මාට..අප්පච්චීට ඔයා හොඳ පුතෙක්...අම්මා මටත් වඩා ආදරේද කියලත් මට වෙලාවකට හිතෙනවා....මගේ නියම චරිත ස්වභාවය( ගෙදර ඉන්න කාලෙදි ) දන්න අප්පච්චි හැම වෙලාවෙම කියන්නෙ ඔයා ඔය ලමයට බනින්නෙ එහෙම නෑ...ඔන්න මම නරකයි කියල කියන්න එපා කියල....එයාලා දන්නෙ නෑ මම දැන් කොයිතරමට වෙනස් වෙලාද කියල...............................

අපේ අම්මා කිවේ ...ඒ ළමයගෙ හිත මලක් වගේ ඔයා ඒක තලල දානව එහෙම නෙවේ කියල.......

කවුරු මොනව කීවත්....මට පුදුම මම වෙනස් උන එක ගැන....මගේ යාළුවො විස්වාස කරාවිද මන්දා.....දඩබ්බර අදහස් තිබුනු  මම මෙහෙම වෙනස්වෙලා  කියලා....

මගේ අහිමි උන ආදරයෙ දෙවසර සිහිකිරීමට දානයක් දෙන්න ඔබට පුළුවන් හැමදේම ඒ වෙනුවෙන් කලා..ඒ විතරක්ද ඔහුගේ දෙමව්පියන්ගේ සහොදරියගේ දුකසැප පවා සොයා බලන්න ඔහුගෙ නිවසට යන්න මාත් එක්ක එකතු උනා....අහිමි ආදරෙට මගේ ඇහින් කඳුලක් වැටෙද්දිත් ඒ කඳුල ඉවසන්න තරම් ශක්තියක් ඔයාට තිබ්බා.....

මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියල....ඇත්තටම ඔයා ලබන්නත් මම පින් කරල ඇති.......අපි දෙන්න අපේම වෙලා අවුරුද්දක් නොදනිම ගෙවිල.................අපි දෙන්නටම සුභ විවාහ සංවත්සරයක් වෙවා

 ප/ලි- ඉහලින් තියන පිංතූරෙ අපි දෙන්නා තනියම සමරපු  පළමු විවාහ සංවත්සරයෙ කේක් එක.....ලස්සනයි නේද ??

Monday, August 27, 2012

අතීත මතක.................




ගම .....මා ඉතා ආශා කරන මාතෘකාවකි.කුරුණෑගලින් බොහෝ දුර හද්දාපිටිසර උදයට සහ හවසට එකම බසයක් ධාවනය වුනු එහෙත් අති සුන්දර ගමක විසූ අප  කාලය ගතවීමෙන්  පියාගේ ගම හැරදා නාගරීකරනය වූ මවගේ ගමට පැමිණියෙමු...නමුත් මට එහි වසර 15 ක පමන අතීතයක් ඇත...

 නගරයේ පාසැලකට එවකට එම ගමෙන්ම ගියේ මා පමණකි.(පසු කලෙකදී එය වෙනස් වුවත් ) නමුත් අසල්වැසි ගමේ කීප දෙනෙක් නගරයේ විවිධ පාසැල් වලට ගියෝය. පුරා වසර 10 ක පමණ කාලයක්ම මා පසැල් ගියේ "පාසැල් සේවය" වෑන් රථයකිනි.
අමතර පංති තිබු දවසට එය වෙනස් වේ... අප්පච්චී නිවසේ නොසිටින තැන සැතපුම් 04 ක් පමණ දුරක් ඇවිද යාමට සිදු වේ..එදවස එය මට එපා කරවන්නක් වූවත් මිතුරියක් හමු වූ විට රටේ ඇති සියළු දේ කතාකරමින් පුරා පැයක් පමණ ගත කරමින් නිවෙස් කරා ඇවිද එන්නෙමු.එන අතර මගදී කවුරුන් හෝ අදුනන කෙනෙක් අපට බයිසිකලයක නැග නිවසට යන්නට කථා කරන විරල අවස්ථාද විය.


 අම්මා ගමේ පාසැලේ ඉගැන් වූ නිසාත්,අප්පච්චී  අසල්වැසි ගමේ ගම්මුලාදෑනියා වී නිසාත් මම නොදත් නමුත් මා දන්නා පිරිස අහල ගම් හත තුලම විය.එමෙන්ම අම්මාගේ මුහුණුවරට ඉතා සමානව තිබූ මගේ මුහුණුවර මට අවාසි සහගත එකක් වූයේ සෑම තැනදීම මා හැඳින ගැනීමට තිබූ ප්‍රබල සාධකයක් වූ බැවිනි...

වරක් මා උසස් පෙළ අවදියේ අමතර පංතියකට ගොස් එනවිටදී අහඹු ලෙස  http://muthupabaluwal.blogspot.com.au/2011/10/blog-post_11.html. කථානායක මගේ මිතුරා මගදී හමු විය.පාසැල් නිල ඇඳුමින්  සිටිනිසාත් මග තොට කතා කීරීම නුසුදුසු නිසාත් හමු  වූ අතුරු පාරේ විනාඩියක් පමන දුක සැප අසා මා එන්නට පැමිණියෙමි......
මා නිවසට යන්නටත් ප්‍රථම එය  අප්පච්චීට ආරන්චි වූ හැටි අදටත් මම දන්නේ නැත...:) :) නිවසේ අය මිතුරා හොඳින් අදුනන බැවින් ප්‍රශ්න පත්‍රයෙන් බේරීමට මට හැකි විය.

මා සාමාන්‍ය පෙළ පංතීයේ උගන්නා කාලයේදී අම්මාද ගමේ පාසැලේ සාමන්‍ය පෙළ සිංහල සහ සමාජ අධ්‍යනය උගැන්වූවාය..

කාලසටහනේ සිංහල යෙදී තිබුන දින ඇගේ සිසු සිසුවියන්  අපේ නිවසට හවස් යාමයේ පමිණ නැවත නැවත පාඩම් මතක් කර ගන්නා ලදී.නමුත් මට නම් මෙය මහ කරදරයක් සේ දැනුනි.ටික වේලාවක් ඔවුන්  මැදට වී සිට හිමින් සීරුවේ කෑමකාමරයට ගිය මම සිත්සේ කෑම මේසය උඩට වී නිදා ගතිමි..ඒ අධ්‍යාපනයට ලැදි සුවච  කීකරු ළමයින් ගියේ මහ රාත්‍රියේ කීයටදැයි මට නම් මතක නැත.......:)...:)
උදෑසන බොහො සිත් ප්‍රීතියෙන් යුතුව මම පාසල් ගොස් සින්හල ප්‍රශ්න පත්‍රයට අමාරුවක් නැතිව පිළිතුරු ලියා පැමිණියෙමි..එන අතර මග හමු වු මවගේ ගෝලබාලයින් ඈ කිවූ ලෙසටම ප්‍රශ්න දෙක තුනක් ආ බවත් පැවසුවෝය.
මතක ඇති ලෙසටනම් එකක් සැලලිහිණි සංදේශයේ කවි වලිනි......කවි පාඩම් නැති නිසා මම එය අත් හැරියෙමි....කෙසේ නමුත් අවසනදී මටත් විශිෂ්ට සාමර්තයක් නම් තිබුනි....

 අපේ වත්ත අවසන් වන්නේ ගමේ වෙල් යායකිනි.අනෙක් පස ඇත්තේ මහා ගල් තලාවකි අක්කර ගනනකින් යුතු මේ ගල් තලාව අවසන් වන්නේ කඳු මුදුනේ  ඇති පන්සලෙනි. අරලියා ගස් පමණක් සරුවට වැඩුණු  බිමක පිහිටි පන්සල සමග ඒ තරම් සම්බන්ධයක් මගේ නොවුනත් පොහොය දිනට අහල පහල මිතුරියන්ද අම්මාද සමග මම පන්සල් ගියෙමි.පන්සල එක්පැත්තක තිබුණේ වැවකි...කුඹුරු අස්වැද්දීමට ජලය හිග කාලයේ වතුර ලබාගත්තේ මේ වැවෙනි..වැව නිවස ළඟම තිබුණත් මම කිසිම දිනක එහි නා නැත්තෙමි....

 පන්සල වටා තිබූ මේ ඉඩම් කීපය හා බැඳුනු අත්භූත කතාද බොහොමයකි.. පන්සල් වත්තත් ඒ අවට ප්‍රදේශයේත් සවස් යාමයේ ළමුන්ට තහනම් ප්‍රදේශයක් කොට තිබුනේ ඒ නිසාය....නමුත් අප පාසැල් ඇරී පැමින  එරමිණියා වාරයට තරඟයට එරමිණියා කැඩුවේ සවස් වරුවේය.( එරමිණියා යනු බොහො විට ගල් උඩ සෑදෙන කටුපඳුරු වර්ගයකි.එහි අතු වල කුඩා ගෙඩි හට ගනී.ඒවා දිව පිනායන රසයකින් යුක්තය.කඩන්නට ගොස් ඇනෙන සීරෙන අවස්ථා නිමක් නැත )
අතීතය මතකයට නැගීම සුන්දරය....


Friday, August 24, 2012

කාලය පියඹන්න..... ඉක්මනින්

ජීවිතය හරි පුදුමාකාරය විටෙක සැනසුම බිංදුවකුදු  ඉතිරි කිරීමක් නොමැතිව උදුරාගන්නේය.තවත් විටක එපා නොකියන්න තරමේ සැනසුමක් සිතට ළඟාකරදෙන්නේය.
ආදරය නිසා මා බොහෝ වේදනා ප්‍රිය විප්‍රයෝගය නිසා විඳ ඇත්තෙමි.නමුත් ඒ ආදරය නැතිවී ගිය පසු නැවතත් පෙරලා මට දැන් ලැබෙන ආදරය අසීමානතිකය.මම ආදරය විඳිමි..නමුත් කිව නොහැකි නොතේරෙන අඩුවක් මගේ සිතට දැනේ.එය ආදරය සම්බන්ද දෙයක් නොවේ.....මව පියා නැගනිය හා සම්බන්ධ දෙයකි.ඔවුන් දක්නට නොමැතිව මම මෙතර්ම කාලයක් සිට නැත්තෙමි...

මා දන්නා දා සිට තනිකම මා අසල නොසිටියේය...සෑම විටම කෙළිදෙලෙන් ගත කරනා චරිතයක් වූ මා මෙසේ දැන් සිටිනා ජීවිතය මටම එපා කරවයි.....
මෙහි පැමිණ මා ලැබුවේ හොඳ ස්වාමියෙකු පමණි.......
උදෑසන සිට රාත්‍රිය දක්වා තනිව ගෙවන මේ ජීවිතයත් ලංකාවේ ගෙවූ සුන්දර ජීවිතයත් අතර පරතරය කෙතරම්ද???
නැවතත ඒ සජීවී ලොවට යාමට ගතවන කාලය මම සැමදිනම ගනන් බලමි.

ජීවිතයේ සැහෙන කාලයක් ගෙවා ඇත්තෙමි.එය මතක සාගරයකි.කුඩා කාලය,පාසැල් සමය,විශ්ව ව්ද්‍යාලය,කාර්යාලය,අමතර ඉගෙනුම්,, මේ සෑම දෙයක් සමගම බද්ධ වී තිබුණු ඒ අතීතය මේ අජීවී ලෝකයට වඩා සුන්දර යයි හැගුනු වාර අනන්තය...

සති අන්තය තෙක් මම ඉන්නේ ගෙදර බලා යන්නටය..නමුත් දැන්......වසරක් දෙකක් මග බලා ඉන්නට සිදුවීම ,,,,???
කවුරුන් කෙසේ උපහාසයට ගත්තද අපේ බිමේ , අපේ අයගේ අගය දැනෙනේ අපි එයින් නික්ම ගිය පසුවය...
පෙර සුර ලොවකයි සිතා යන්නටම පොරබදා මෙහි ආ මම සුර ලොවක සිටින බව දනිතත් එහි අගය දනිතත්.......ඊටත් වඩා මගේ රටට යන්නට ආසාවෙන් සිටිමි.....

නමුත් මෙය පුද්ගලයාගෙන් පුදගලයාට වෙනස් විය හැකිය.......