Followers

Wednesday, December 14, 2011

ගෙවී යයි කාලය.............(8)


නුඹ නොමැත මාළඟම
සිටිමි මම
තනිව මිහිපිට
දුකින් සන්තාපයෙන්
සංවේගයෙන්
තබාගෙන සිතෙහි
"නුඹ එතැයි මා ළඟට"...................


ගෙවුනි තුන්මසක්
නොදැනිම නුඹ නැතිව
කිමද වූයේ නපුරු
කෲර දෛවය අපට
කිමද අප කල වරද
දෛවයට
පැමිණ පසුපසින් අප
විසුණු කරන්නට
අපේ ජීවිත .......................


අහඹු ලෙස හෝ
දැනුනි නම් මට
නුඹේ අවසන්ම ඇමතුම
එය වගට
හඟවන්නට තිබුණා නොවෙද මට
නොනගින ලෙසට
අබලන් වූ දඬුමොණරයට................


කවුරු නුඹ යැව්වාද
නොදන්නාමුත් සබඳ
ඔවුනට තිබුණා
නොවෙද සිතන්නට
නුඹලා රොබෝවරුන් නොව
සිත් පිත් ඇති
වටිනාම මිනිසුන් වගට...................


අසංවෙදී මිනිසුනට
කෙසේනම් දැනේවිද
ප්‍රිය විප්‍රයෝගයේ
අරුම......

Tuesday, December 13, 2011

බිඳුණු පියාපත් (7)



ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තිබුනු නුබේ ශරීරය හඳුනාගැනීමට  මට කිසිදු සලකුණක් නොවුනි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද???
දැවී අලුවී ගොස් තිබු නුබේ දේහය දුටු විට මට දැනුනු සදාතනික වේදනාව කෙතරම්දැයි ලිවීමටත් අපහසුය....මගේ ජීවිතයේ මාදුටු අවාසනාවන්තම දර්ශනය එය විය.හඬන්නට කඳුලු නැතිවිට ජීවිතයේ ප්‍රථම හා අවසන් වතාවට මා නුබේ ප්‍රාණය නිරුද්ධ ශරීරයට වැන්දෙමි. මක්නිසාද මගේ ජීවිතයට වටිනාකමක් එක් කල,මා ආදරය කල තරමටම පෙරලා මටත් ආදරය කල මා නුඹේ ජීවන ගමනේ එකම සහකාරිය කර ගැනීමට පාරමී පිරූ එකම  පිරිමියා නුඹ බවිනි...

 වූ නුබට මා ගෞරව කල යුතු බැවිනි.නුඹ ළඟ තවත් ටික වේලාවක්  රෑඳුනේ නම් හොඳ යයි විටෙක මට සිතේ .අපේ ජීවිත කෙතරම් අනිත්‍යද?? නුඹේ කරේ නුඹ පැලඳි මාලය මා අතට පත් වූ විට සිය වතාවක් පමණ මා ස්පර්ෂ කරමින් හාදු දුන්නෙමි.ඒ තුලින් දැනුනු සැර ගන්ධය පරයා මට දැනුනේ ඔබේ ආත්මීය සුවඳයි.

 මගේ වේදනාව කාට කියන්නද ? එය දන්නේ නුඹත් මමත් පමණි.සත්‍ය ලෙසටම නුඹ මල් පහන් පූජ කොට වඳින්නට තරම් වටිනා පිරිමියෙකි.

නුඹ ලොවම අතැර ගොස් සිටියද සිතේ කොනක නුඹ නැවත එතැයි යන බලාපොරොත්තුව ඉතිරි වී තිබුනි.දන් එයද නැත.

මගේ සිත හදා ගැනීමට මගක් පෙන තෙක් මානයක මට නොපෙනේ.නුඹට මාත් මට නුඹත් කළ ආදරය කොතරම්ද??
 සෑම තැනම ඇත්තේ ඔබේ මතක සැමරුම්ය.නුඹේ කට හඬ අසන්නට නොමැතිව එක පැයක් හිඳීමට නොහැකි වූ මා මාස 03 ක් නුඹේ හඬ නෑසී සිටිමි.මා තනි වී ගොස්ය.හිත හදා ගැනීමට අපමණ උත්සහයක යෙදුනත් එය සිතනවාට වඩා දුශ්කර කාර්යකි.

නුඹේ අඩුව මට දැනේ. මා දුකින් පසු වන්නේ නුඹේ මනාලිය වන්නට නොහැකි වු දුකට නොව නුඹේ වටිනා ජීවිතය අහිමි වු නිසාවෙනි.

නුඹේ නමට කෙදිනකවත් මා අදරය නොකලෙමි.නමුත් නුඹ තුල නිදන්ගතවී සිටි අහිංසක,සුන්දර,ගුණගරුක,සරළ,මිනිසාට මම ආදරය කලෙමි.

Wednesday, November 30, 2011

අහිමි........................(6)

ජීවිතය පුරාවට
විඳින්නට දුකක් දී
නුඹ වෙන්ව ගිය අපූරුව.................

දයාබර මා සබඳ
දුටුව දින සිට
සිතින් ලොබ බැඳි
නුබේ සිනාව
මිලිනව ගොසින් අද
ඉතිරිකොට මට සදා තනිකම............................

අවසන් වරට
රෝහලේ සයනයක
තිබු නුඹේ ශරීරය දුටුවිට
සලිත වූ මගේ සිත
දුකින් හඬා වැටුනු හැටි
පවසන්නට නොමැත වදන් මට...............................

ප්‍රාණය නිරුද්ධ
අත පය අහිමි
නුඹේ පිලිස්සුන ශරීරය
හැඳින ගන්නට සලකුණදු නොවුනි මට.........................

සැමවිටම දැවෙමි මම
අවසනාවන්ත
මාද............
නුඹද.......................

බිඳුණු පියාපත්....(5)


 ඔක්තෝබර් මස 31 දින අවසන් වරට නුඹේ ඇස් මගේ ඇස් හා එකට ගැටුණු මොහොතේ කුමක් හෝ දුක්ඛ සහගත හැඟීමකින් මගේ සිත පිරී ගියේ ඇයිදැයි අදටත් මට නොහැඟේ..............

නුඹත් මමත් පැතූ ලෝකය මෙතරම්ම ඉක්මනින් බිඳී යතැයි මා සිහිනයෙනුදු නොසිතුවෙමි.නුඹ ඔක්තෝබර් 31 වෙනි දින මගෙන් වෙන්ව ගොස් මෙලොවින් ඔබ සමුගෙන යනතුරු ම එක් දිනයකුදු නෑර මට ඇමතුමක් දුන්නේය .විහිළුවක් කොට සිනාසුණේය.විටෙක මගේ සිත සැනසුවේය.

මංගල දිනයට ඇඟිලී ගනිමින් ඉතාමත් උද්යෝගීමත්ව මටත් වඩා ඒ ගැන සැලසුම් කලේය.අපේ සිහින කෙතරම් වීද?ඇමතුමක් ගන්නා සෑම විටම මුල්වරට නුඹ මගෙන් අසනා පැනය අවසන් වතාවට අවසන් ඇමතුම රෑගෙනද ඇසුවේය."මොකක්ද අද ඇඳන් ඉන්නේ??"

නංගා තවටිකකින් Call එකක් දෙන්නම් යැයි පැවසූ නුඹ එදිනම යළි නො එන ගමනක් මටත් නොකියාම ගියේය.

මතක සැමරුම් කොහේ හෝ සිට පැමින මාගේ සිතට වේදනාවක් ම දී යන්නට යයි. දැන් මා සිතත තුල ඇත්තේ මතු සංසාර භවයක  එක් වතාවක් අපි අපේම වන්නට වරම් ලැබේවා යන්නයි.

 ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබු නුඹේ  ශරීරය  හඳුනා ගැනීමට මට කිසිදු සලකුණක් නොවුණි.එය කෙතරම් වේදනා සහගත හැඟීමක්ද ??????

Thursday, November 24, 2011

බිඳුණු පියාපත් -දිගහැරුම (4)

දිනය කෙදිනකදැයි මට නිශ්චිතවම මතකයට නොනැගෙන නමුත් එය සුන්දර ඉරිදා දිනක සවස් යාමයයි.අප දෙදෙනා හමු වු ප්‍රථම දිනය.,කෙදිනකවත් මෙවන් අකරුණාවන්ත අවසානයක් ඇති ආදරණීය කවියක් වෙතැඉ එදින මා නොසිතුවෙමි.

 දින සති මාස අවුරුදු ගෙවී යන විට නුඹ මගේත් මා නුඹේත් වී වී අවසන් වූයේ දෛවය ඔබ මගෙන් සදහටම වෙන්කොටගෙන රෑගෙනයාමෙන් අනතුරුවය.

නුඹ ගැන ලියා තබනවාට වඩා ඒ මතක සැමරුම් මගේ සිත තුල තබන්නට මට සිතේ...
නමුත් නුඹ මෙලොවින් ම සමුගෙන ගොසින්  ඇති වගට පසක් වූ මොහොතේ මගේ සිතුවිලි දාමය ලියා තැබිය  යුතුමය........

අවසන් වරට නුඹේ ඇස් මගේ ඇස් හා ගැටුණු මොහොතේ කුමක් හෝ දුක්ඛ සහගත හැඟීමකින් මගේ සිත පිරී ගියේ ඇයිදැයි අදටත් මට නොහැගේ.

Sunday, November 20, 2011

සිහිකිරීම.........................(3)

නොසිතුවෙමි
කිසිවිටක
නුඹ හමුවීමට
යාමට සිදුවෙතැයි
'සුසානය" වෙත......................


                                               වෙනදාට                                                 
මසකට වරක්
මා දකින  ඔබේ වත
අද මවමි  මනසින්
ශෝක භරිතව
          නුබේ සොහොන් ගැබ ලඟ.............

නුබ නමින්  සුසානය ලඟ
දල්වන්නට ගෙනා
තෙල්පහන
දීප්තියෙන් දැල්වී
නිවී යයි
ක්ශනයකින්
                        පසක් කරමින් ජීවිතයේ අනිත්‍ය.....................

එහෙත් ප්‍රිය මා සබඳ
පෘතග්ජන මා නම්
කෙසේ දරාගන්නද
                               ප්‍රිය විප්පයෝගයේ අරුම...?...............................

Saturday, November 19, 2011

බිඳුණු පියාපත්.....................(2)

සෑමදෙයක්ම අතීතයට එක් වී හමාරය......නමුත් මම ලියු සිතිවිලි ඒ අයුරින්ම  මෙහි ලියා තබන්නෙමි.




කෙතරම් වේදනාවක්ද
ඔබගේ වෙන්ව යාම මට
මෙතරම්ම යැයි කිව නොහැකි..
සිතට දැනෙනා රුදුරු තනිකම
හදට දැනෙනා විප්‍රයෝගය
මකා ගත හැකිද මට
ජීවිතය පුරාවට.......................

දෑඟිලි බැඳ  රන්හුයකින්ම
තනන්නට අපේම වූ ලොවක්
පියවරමනින්නට සදා කල්
අප මවූ සිහින පොදි
බරවැඩි උණිද මිහිකතට..........?

නොදැනේ ඔබට මිස
 අපේ දුක අන් අයට
ඔබ දනී ,මා දනී
අපේ බැදීම්
සදාකාලික..........................

මසකට වරක් ඔබ එතැයි මග බලන
රාත්‍රියට  සිහිනයෙන් මා ම රවටන
මගේ දෙනුවන්
මටම පවසයි ඔබ නේන වග...........................

නෙතු කුමක් පැවසුවද
ඔබ එතැයි පවසන
මගේ හදවත
විස්වාස කල හැකිද මට..............................

පුරා සිව්වසක් තුල
මගේ දෙසවන් නැලවු
ඔබේ කට හඬ
වශීකෘත සිනාව
අමතක කල හැකිද මට
කල්පකාලය පුරාවට

නැවත එක්වරක්වත්
පැමින මාවෙත
පවසනවාද ඔබ
ආදරෙයි මා
ඔබට...............................

පටන්ගැන්ම (1)


අතීතයට ගිය මගේ එක් කාලපරිච්චේදයකට අයත්  සත්‍ය කතාව මම ලියුවේ 'ඒ හැමදෙයක්ම හිතේ දරාගෙන ඉන්න බැරි නිසා."ඒ දැනට වර්ෂයකට පමණ ඉහතදි.බ්ලොග් එකක් ලියන්නවත්,දැකලවත් තිබුනෙ නෑ ඒ වෙනකොට.හිතෙන හිතෙන වෙලාවට ,තනියම ඉන්න වෙලාවට මං ඒක ලියුවා...පිටුවෙන්.......පිටුව....ඒත් අද වෙනකන්ම බ්ලොග් එකට ඇතුලත් කරන්න නම් හිතුවෙ නෑ....නමුත් අද හවස මගේ සිතුවිල්ල වෙනස් උණා......
මෙතැන සිට පිටු ගනණාවක් දිගහැරෙන්නේ....ඒ අනුවේදනීය කතාව......

දෛවය විටෙක සරදම් කරන්නේ ජීවිතය පැරදී විඳවන්නටය...

විටෙක පරාජයම උරුම කල දුන් දෛවයම මට මල්හිනාවක් දොතින් පිරි නමන්නට අමතක නොකලේය

Wednesday, November 16, 2011

අපි බොහොම බය උණා..හිකිස්...

පාසැල් කාලය...



මම හිටියෙ 10 වසරේ අපේ පංතිය භාර ගුරුතුමියගෙ නමත්  මමත් තවත් මගේ පංතියේම මිතුරියක් හිටියා එයත් .....අපි තුන්දෙනාටම තිබුනෙ සමාන නම්. මිස් හරිම හොඳයි. අදටත් හම්බුනාම මට ආදරෙන්  කතා කරලා සුභ පතන්නේ.ඒ කෙසේ වෙතත් ඔය කාලෙට මොන මිස් ට උණත්  කාඩ් එකකින් නෙ අපේ දූවරු අමතන්නෙ.ඒක හැමොටම පොදුයි.
මිස්ට මොනවහරි කියන්න ඕනෙ වෙනකොට ඉතින් අපේ නම් ඉවරයි.මොකද නින්ද යන්නේ...මොකද තරහ ගිහින්.-----අපට බඩගිනී...මේ පීරියඩ් එක ඉවර වෙන්නෙ නැත්ද ? වගේ කතා කියන්නෙ අපේ නම් ඉස්සරහට දාලා, මං දන්නේ නෑ එවා එයට තෙරුනාද කියල....එකදවසක් සංගීත විෂයට ගිය යෙහෙලියො ටික අමුතු කතාවක් ඉගෙන ගෙන ඇවිත් .ඒක කියන්නේ එක්කෙනෙක් තවත් කෙනෙක් ට විතරයි වෙන කෙනෙක් ට අහන් ඉන්න බෑ,ඒත් එක්කම අහගෙන ඉන්න කෙන යටිගිරියෙන් හූ කියනවා....
අපේ පෙලිය තිබුනෙ පංතියෙ ඉස්සරහට වෙන්න එ නිසා මුණු මුණු ගානවා විතරයි මට  ඇහුණේ.ඉතිං දැන් මට ඉන්න බෑ.මම එහෙට මෙහෙට හැරිල බලනවා.ඒ කතාව සූ සූ ගාල පංතිය වටේ යනව සීග්‍රගාමී බස් එක වගේ. මමත් ගියා කතාව පංතියේ බෙදා හැරපු සෙනාලි ලඟට.අනේ මටත් කියන්නකො ....එයා එක සිතින් වැඩේ භාර ගත්තා...හැබයි කෑ ගහන්න බෑ.ඔය මගෙ ඇස්දෙක දිහා බලාගෙන අවදානය වෙන අතකට හරවන්නේ නැතිව ඉන්න.කතාව අහගෙන චිත්තරූප මවා ගන්න හොඳද? මෙක ජොලි කතාවක්
"එක ගෙදරක ජීවත් වෙනවා විවාහ උණ ජොඩුවක්,මෙයාලගෙ ගෙදර තිබුණේ ලොකු වත්තක් මැද.ඒ පලාත පාලුයි.අඳුරුයි.නමුත් හරි ලස්සනයි..(චිත්ත රූප මැවෙන  විදිහට  )ගෙදර විශාල පරණ දෙමහල් නිවසක්,එක් දවසක් රෑ මේ දෙන්නම නිදා ගන්න යන්න තීරණය කලා.උඩ මහලට යනකොට දොරට ගහන් සද්දයක්....ඒත් බලන්කොට කවුරුත් හිටියෙ නෑ...නැවත සද්ද්යක් ...ස්වාමියා දෙවෙනි වතාවටත් ගිහින් බැලුවා කවුරුත් නෑ.
ඔහොම එක එක දේවල් ආරළු බූරළු එකතු කරගෙන කතාව දිගට යනවා.එදා රෑ හරි සීතල දවසක්..එකපාරටම ගෙදර ලයිට් ගියා .නැවතත් සද්දයක්..ස්වාමියා ගියා දොර ලඟට දොර ඇරල බැලුවම එතන කාන්තාවක් සුදු සාරියක් ඇඳල.කාන්තාව ගෙට ආවා,වතුර ටිකක් ඉල්ලුවා..පලවෙනි වතුර වීදුරුව දෙනකොට ඒක බිම වැටුණා ,දෙවෙනි වතුර වීදුරුව ගෙනත් දුන්නා ඊට පස්සේ.ඔහු දැක්කා අර කාන්තාවගේ මැද ඇඟිල්ලක් නැති බව
ඔහු ඇහුවා මොකද ඇඟිල්ලට උනේ කියලා.අර කාන්තාව ඔහුගේ මුණ දිහා බලාගෙන ඉඳල එකපාරටම උඹ අතමයි මෙහෙම කලේ කියල බෙල්ල මිරිකන්න පනිනවා(ඒ අවසාන ටික වෙන්නේ කියන කෙනා අසන කෙනාගේ බෙල්ලට අත යවනවා.එතකොට කතාවට සම වැදිල ඉන්නවනම් උන් හිටි තැන් අමතක වෙලා කෑ ගහනවා...අපට ඕනෑ තරම් දෙවල් කතාවට එකතුකරගන්න පුලුවන්.)
කතාවට සමවැදුනු මමත් ගැස්සිලා කෑ ගැහුව කියමුකො.හොඳ වෙලාවට පංතියෙ මිස් හිටියේ නෑ.
කෑ ගැසීමෙන් කතාව ඉවරයි අපි පියවි සිහියට එනවා,අනිත් අය හිනා වෙනවා...ඔන්න දැන් මමත්  කතාව දන්නවා මං ආවා මගේ තැනට.
ඒ වෙලාවේ පංති භාර මිස් ආවේ අපට බැනගෙන පංතිය සද්ද වැඩී කියල.ඇය අපට වැඩක් පවරලා ඇයත් වැඩක යෙදිල.. එක පාරටම පිටිපස්සෙ පෙලියකින් කෙනෙක් හූ.......කීවා..මිස් ගැස්සිලා ඇහරුණාද කොහෙද....හිටගන්නවල ඔක්කොම කිසිම දෙයක් කීවට අහන්නෙ නෑ....අපි හිට ගෙන දැන්...මට පිටිපස්සෙ පේලියෙ හිටියෙ මංගලිකා කියල යෙහෙලියක්,මං ඇයට කීවා ශෝක් කතාවක්නේ ඔයා අහගත්තද කියල"අනේ සුමුදු මටත් කියන්නකො.හැබැයි කෑ ගහන්න බෑ.
කියල මං කතාව පටන් ගත්තා..හිටගෙන ඉන්න වෙලාවෙ කරන්න දෙයක් තියෙන්නත් ඕනෙ නිසා....ආ දැන් ඉඳගන්න කෑ ගහල අහුවෙන්න එපා..අපි ඉඳගත්තා..මං පිටිපස්ස හැරිල කතාව කියනවා වගේ වගක් නැතිව..එක පාරටම "බුදු අම්මෝ.... සද්දයක්....පංතියෙහ සුවිනීත ශිෂ්‍යාවො ආයෙත් හිනා වෙනවා.ඒ පාරනම් මිස්ට මල..මොකද්ද ඔය කතාව..කෝ දැන් කතා නායිකාව..මොකද හිනාවෙන්නේ ??? මමත් ඉන්නව මම නෙවේ වගේ..කතාව කියුවට කතා නායිකාව මම නෙවෙනේ.ඉඳ ගන්නවල පිටිපස්සෙ පේලිය හිටගෙන ඉන්නවල..මේක කෝලම් මඩුවක් කියල හිතුවද(පංතියෙ අහින්සකම ලමයින් ටික ඉන්න පේලිය විතරක් හිට්ටවල කෑ ගහපු සේරම ඉන්දෙව්වා) දැන් ආයමත් අපි වැඩ පටන් ගත්තා...මට එහා පැත්තෙ හිටියෙ දර්ශිකා මගේ එක් අතිජාත මිතුරියක් මුලු පාසැලේම මිස්ලව හම්බවෙලා ඇය පංතියට  එද්දි මේ හැමදේම ඉවරවෙලා.ඔන්න අපි වැඩ. දර්ශිකා ආවා චිත්‍ර පොතත් දියසායම් පෙට්ටියත් අරගෙන..ඇයටත් මම දැන් කතාව කියන්නයි සුදානම...මම කතාව කීවා,,,ඇය දියසායම් දිය කරපු පීරිසියත් බීම දමා කෑ  ගසුවාය.....හිකිස්
 පංතියේ අපි සියලු දෙනාම පේලියට   ගිණි අව්වේ හිටගෙන ඉන්නට ඉන්පසුව  සිදුවිණි

Saturday, November 12, 2011

මව්නි පියාණනි....................

කෙනෙකු ජීවිතය දිනද්දී
ඒ දෙස බලා සතුටු වීමට අපට හැකිනම්
එයද අප ජීවිතයේ ලබන ජයග්‍රහණයකි...
අන් අයගේ සතුට දැක සතුටු වීමට නොහැකිව
නොයෙක් අතුරු කතා එක් කොට අනෙකාගේ සිත් රිදවා කුරිරු සතුටක් විඳ ගැනිමට සමත් නෑයෝත් නොනෑයෝත්  යහළුවෝත්  එමටය.....
ආදරණීය අම්මේ....සියළු දේ සිත් හි දරාගෙන ජීවිතය දිනන්නට මග කියා දුන්නේ ඔබය....ඒ සියලු බාධක මැද විසල් නුග  රුකක් වුයේ අප්පච්චි ඔබය....වැටි වැටි නැගිටින හැටි කිය දුන්නෙද ඔබය.....
ආදරණීය අම්මේ.....සතුටක් ලද හැම මොහොතකම ඔබ ඕනෑවට වඩා සතුටු වූයේ නැත.දුකද සතුටද  එකසේ දරාගෙන ඔබ ජීවිතයට මුහුණ දුන්නේ ඉතා සතුටිනි.මා ඔබගේ සිහින සැබෑ කල දිනයේ බණ්ඩාරනායක සම්මණ්ත්‍රන ශාලාව අසලදී ඔබේ දෑස් ආඩම්බරයේ කඳුලු වලින් තෙත් වූ වග මට මතකය.
ඔබ සැමගේ ආශීර්වාදය මැද මා මැවු සිහින මාලිගා බිඳ වැටුණු දින මා ලඟටම වී නොසැලි මට දිරියක් වුයේ අම්මේ ඔබය.
නැවත ජීවිතය සොයා ගත්තේ ද ඔබෙන් ලද පන්නරයෙනි.ඔබේ   සිත රිදවීමට මොහොතකටවත් මා අකමැත්තෙනි.අන් අය එසේ කලහොත් ඔවුන්ටද මා ශාප කරමි.ඒ ඒ තරමටම මා අම්මාටත් අප්පච්චීටත් ආදරය කරමි.දැයේ දරුවන්  යහමග යැවීමට ඇප කැප වූ මගේ අම්මා .....අන් අයගේ සතුටට  තමන්ගේ සතුට කරගත් මගේ අම්මා....සැමදා සැමවිට නොසැලී සිටින ආදරණීය අප්පච්චී ඔබ දෙපලටම දීර්ඝායු වෙවා!

දයාබර නිපුන

මගේ ජීවන මං තලාවේ ..........
ඇවිද යන විට සිත තුටින්.............
එක්වරම මට හමු වුණේ......
ගිරි ශිඛර කඳු හෙල් මුදුන්...........
වංකගිරියක අතරමං වී.....................
දුකින් හැඬුවෙමි දිවා රෑ......................
පාළුවෙන් තනිකමින් ලතැවුනි.............
සොඳුරු අතීතය ගැන සිතා............
ඝණඳුරේ පා තබා යද්දී .....................
ඇසුනි වදනක් සිහිනයෙන්......................
ලැබුනි නැවතත් ජීවයක් මට.................
සිනා වෙන්නට හද තුටින්....
සිතට සැනසුම ගෙනෙන වදනක්
ඇසුනි මා හට දිවා රෑ........
අඳුර පහවී .....
කඳුල නැති වී .......
තුටින් ඉපිලෙමි ඔබ නිසා...

Friday, November 11, 2011

අපි කිරිල්ලියෝ සැලෙන තටු නිබඳේ


මූණු  පොතේ පිටු පෙරලෙද්දි අතීත මතකයන් වලත්  පිටු පෙරලෙනවා නිතැතින්ම...ඊයේ මං  දැක්කා මගේ යෙහෙලියක් පිංතූර වගයක්  එකතු කරල තියනවා..අපි  ගරු ගාම්භිරව ශිෂ්‍ය නායිකාවන්  ලෙසට දිවුරුම් දෙනවා.....(ඒක කඩවුණු  පොරොන්දුවක් නම් නෙවේ  )  ඒ ජීවිතයෙන් අපි ලද පන්නරය...අත්දැකීම් , නායකත්වය .ගොඩනගාගත් පෞරුෂත්වය  නිසා අදටත් අපි  පොලවෙ පය ගහලා ජීවත් වෙන මලිදෙව් දියනිවරු...........
ඔහොම හිටියට සාන්ත දාන්තව... අපිත් ආසයිනේ "ශිෂ්‍ය නායක දින වලට යන්න... ( නිකන් ඔහේ) දවසක් අපේ සහෝදර පාසලේ සහෝදරයෝ දෙන්නෙක් ඇවිත් අපට ආරාදනා කල කියමුකෝ........
දැන් මෙන්න මෙහෙමයි  අපේ  අය  කතා වෙන්නේ....
බං  "BOY'S" එකේ DAY එකට INVITE  කරන්න ආව නේද ?
ඔව් බං  30 දෙනාටමද දන්නෙ  නෑ....
අපිත් ඉතින්  බලාගෙන ඉන්නවා ..කවුරුත් කාටවත් පෙන්නනේ නෑ යන්න කැමතී කියලා.....
අනේ ඒකට ගියොත්  SUNDAY CLASS එකත් අපරාදේ.....
(එත්  හිත යටින්  හරි කැමතී)
ඔන්න  අපේ  HEAD PREFECT   ආවා... එයා ගැන නම් නොකියම බෑ,,,,,අවුරුදු 13 ක් අපේ පාසැල් ඉතිහාසයේ නිවැරදි දැක්මක් තිබුනු නිරහංකාරකම චරිතයක් උණු ඇය  "ප්‍රධාන ශිෂ්‍ය නායිකා පදක්කම ආභරණයක් කල නොගත්  චරිතයක්.....
boy's එකේ DAY  එකට INVITATION  දීල ගියා 10 දෙනෙකුට (වගේ  මතක ) ඔක්කොමලට නම් යන්න බැරිවෙයි. දැන් එයා යන අයගෙ නම් එහෙමත් කිවා.....ඉතිං අපි වගේම යන්න ආසාවෙන් හිටපු තවත් කට්ටියකට  යන්න  බැරි උනා...(ඒ  ගැන දුකට එයලා "නරියගෙ මිදි තිත්ත න්‍යායෙන් තමයි   කතා කලේ)...අපට ඕවා වැදගත් උනේ  නෑ..දැන් අපි යන්න ලෑස්ති වෙනවා.....
දැන් ඉතිං හොඳ නාට්‍යක්  රඟ දක්වන්න තමයි බලාපොරොත්තුව......
ඔන්න නාට්‍ය පිටපත ලියුවා හැමෝම දන්න "මඩ" CARD " මේ කී නොකී  හැමදේම එකතුකරලා, අපි දැන්  PRACTISE  කලා කියමුකෝ...අපට තියෙන්නේ එයාලගෙ "හැරෙන්නවත්  MAIN HALL එකේ නාට්‍ය පෙන්නල එයාලව සතුටට පත්  කරන්න විතරයි..අපිත්  දැන් පුල පුලා බලාගෙන ඉන්නවා......ඒ දවස එනකන්.
එදා සිකුරදා දවසක්.....මෙන්න කඩාගෙන බිඳගෙන ආපු සහෝදරයෝ දෙපලක්  කියනවා....නාට්‍ය කරන්න දෙන්න බෑ ....කාලය පිලිබඳ ප්‍රශ්නයක්  තියනවා...නංගිලා සිංදුවක් කියන්න  කියලා......අපිට දැන් පුදුම කේන්තියක් මුව හිතින්  මරණවා (පස්සේ අපට ආපු  ආරංචිය නම්  මෙන්න මෙහෙමයි...බොහෝමයක්  පිරිමි පාසැල් අපේ සහෝදර පාසැල එයලගේ Day  එකේදිත්  මඩ ප්‍රහාර සඳහා යොද ගන්නවා...නමුත්  ඔවුනට ප්‍රබල මඩ එකතුවෙනවා අඩුයි.......අපි නාට්‍ය කලොත් අනෙක්  අයට මෙයාලට card  ගහන්න ටිකක් ලෙසී......
තවදෙයක්  SIR  ලගේ ඉදිරියේ  හා පැටව් නෙ අපේ බහුතරයක්  සහෝදරයෝ.
(කතාව දිග වැඩී වගේ....)
 අපි  නාට්‍ය පටන්  ගත්තේ මෙහෙමයි''''ශාන්තී .......ශාන්තී ..... (එතැන බොහොමයක්  සහොදරවරු  අතර ප්‍රසිද්ද තොසේ කඩයක් ...නමුත්  තව තව දේවල්  වලටත්  නම් දැරුවා......)
එතනින් පටන් ගෙන  මුලු කුරුණෑගල ම cover වෙලා යන්න හදල තිබුනු අපේ  පිටපත ගැන මෙයාල දැන ගත්තේ  කොහොමද කියලා.....අපට හරි ප්‍රශ්නයක්.....
 වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්
අයියල අපේ  නම් ඉල්ලගත්තා මුලින්ම.....එයාල දන්නව සමහර ශිෂ්‍ය නායිකා අක්කලගේ  පොඩි මල්ලිලා එයාලගේ ඉස්කෝලෙ කියල....පොඩි මල්ලිලා  ලොකු අයියලාට දෙවියන්ට වගේ සලකන්නේ........
එක මල්ලියෙක්  ලඟට ගිය ලොකු ශිෂ්‍ය නායක අයියෙක් කීවලු (මල්ලි 6 වසරෙ විතර cricket වලට මැරෙන්න උනත් කැමති කෙනෙක්)" මල්ලියා..ඔයාව cricket team  එකට  දාලා දෙන්නද ? පොඩි එකාට මාර Happy .....
හබැයි ඔයා ඒ වෙනුවට මටත් උදව්වක් කරන්න ඕනෙ...
පොඩි එකා පැනලා හා කියලා.....
මේ දවස්වල ඔයාලගේ අක්කා මොකද කරන්නේ ??ඔයා ගිහින් බලන්න.....එයා ලඟ ඇති නාට්‍යක් ලියපු කොල වගයක්...හැබැයි  අක්කට හොරෙන්  මට ඒක ගෙනත් දෙන්න....කටින්  කට ගියපු අපේ නාට්‍ය ගැන අය්යලා සෙවිල්ලෙන් ඉඳල අරගෙන තියෙන්නේ ඒ විදිහට......
කොහොමහරි  පොඩි මල්ලි නට්‍ය පිටපත අයියල අතට ලැබෙන්න සලස්වලයි කියල තමයි  අපි දන්නේ......
අපි පුදුමාකාර හිතේ දුකක් තියාගෙන  එයලගෙ  DAY  එකට ගියා.......
අයියල එයලගේ සහොදර පාසැලේ  නංගිලාට  වැඩ පෙන්නනවා...කෙනෙක්  ඇවිත්  මගෙන්  මේ දෙනෝ දාහක්  මැද්දෙ අහනවා "නංගි  ඔයලාගෙ  ඉස්කෝලෙ  මොකද්ද කියලා...එතන හිටියෙ ප්‍රසිද්ධ පාසැල් කීපයක සහොදර සහොදරියෝ....ටික දෙනෙක්
"බොහොම කණගාටුයි  සහොදරයා..ඔයාට වර්න අන්ධතාවයක්  තිබුනට.මට පේන හැටියට ඔයාට ලඟ පෙනීමේ  ප්‍රශ්නයක් තියනවා කියල මමත් කියලම" මෙන්න බලගන්න කියලා මගෙ බ්ලසෙර් එකේ තිබුන පසැල් ලාංචනය මම එයට පෙන්නුවා....හිමිට එතැනින්  මාරු  උන ඒ සහොදරයා...කාලෙකදි මගේ කිට්ටුම සුහදතම සහෘදයෙක්  උණා.
ඔන්න අපේ  අයියලා ගේ  අපි  පුල පුලා බලාගෙන හිටපු දස්කම් විස්කම්....හිකිස් ...හිකිස්.... මෙලෝ රහක් නෑ..... ටික වෙලාවකින් සුදු ගවුම්  ඇන්දගත්තු  ගැහැණු ලමයින් වීමට අසාර්ථක උත්සහයක යෙදිල සහොදරයො කීප පොලක් සභාවට එනවා "අපි කිරිල්ලියෝ  සැලෙන තටු  නිබඳේ" කියාගෙන....අපිත්  ඉතින් පව්නෙ කියලා බලාගෙන ඉන්නවා..ඒකී නොකී මඩ ප්‍රහාරවල්  එල්ල කරමින් නාට්‍ය  තිර ගත වෙනවා....
අපි නෑසු කන් අඇතිව බලෙන ඉන්නවා ප්‍රබල මඩ ප්‍රහාර අහිංසක බාලිකාවන්වන අපටම නිසා...හොඳම දේ කියන්නේ ඒ නාට්‍ය තේරෙන්නෙ මඩ දන්න  අයට විතරයි. අපි බලනකොට අපේ ශිෂ්‍ය නායක භාර ගුරුතුමිය හිසට අත තබාගෙන , ප්‍රදාන අමුත්තා( ජේෂ්ට කථිකාචාර්යවරයෙක් සිංහල ) එසේමයී( මෙ අණ්ඩර දෙමලය කුමක්ද කියා නොතේරෙන නිසා )
අපි පැය ගනණාවක් සහෝදරයන්ගේ විකාර රූපී සංදර්ශනය නැරඹුවා....ඒ අතරෙදි අපිත් එක්ක යාළු මිත්‍රකම්  පවත්තගන්න ආවේ අපේ අයියලා ගැන හොදින් දන්න  ගාල්ල මහින්ද විද්‍යාලයෙ අයියල."නංගිලා ඔයාලා ගැන සෑහෙන්න මලියදෙවෙ අයියල හොයල බලනවා නෙද? එත්  ඔයාල  එයාලා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ නෙ... අනේ අපි අහිංසක විදිහට හිනා වුණා....
නංගිලා  මේ අයියලා ගැන ඔයාලාත් දන්න දේ අපට කියන්න.අපි හොඳ ඩ්‍රාමා එකක් හදන්නම්.......අපේ  DAY එකට.මට එක පාරටම මතක් උනේ මගේ බෑග් එකේ තිබුණ පරණ නාට්‍ය පිටපත...දෙවරක් හිතුවේ නෑ ඒක අතට ගත්තු මම ඒ අයියට ඒක දුන්නා..TKS නංගි.....
කාලෙකට පස්සේ මට ලියුමක් ලබුනා...
සුමුදු නංගී...
ඔයා දුන්නු තොරතුරු ටික අපිට ගොඩක් වැදගත් උණා...අපි ලස්සන SCRIPT එකක් ලියුවා.TKS.ඔයාලගෙ අයියලා මෙහේ මුහුද දැකලා පුදුම වෙලා ඊට පස්සෙ සතුටු උණා,,,එයාලා වැව් කියලා අපට පෙන්නුව තැන වගේ තැනක තමයි අපේ පැත්තෙ මී හරක් නාන්නේ.

Wednesday, October 19, 2011

මං ආයෙත් එනවා.....



කාලෙකින් ලියන්න බැරි උණා...මේ දවස්වල මගේ රටට එන්න ලක ලෑස්ති වෙනවා (හදිස්සියෙම යොදා ගත්තේ)
අනේ  දැනෙන සනීපයක්.......

ඉස්සර ..මගේ රටේ ඉද්දි ....දේශ  දීපංකර වල ඉඳල ආපු  සමහර යාලුවො නෑදෑයෝ ලංකාව හොඳයි කියල කීවම මට ඇත්තටම හිතුනෙ එයාලා එහෙම කියන්නේ ඇයි කියල...එත් කියන්නම ඕනේ මට හිටිය යාලුවන්ගෙන් කෙසේ වෙතත්  නෑදයොනම් ගොඩක් දේශ දීපංකර වල උජාරුව ගැනමයි  කතා කලේ ඒ දවස් වල...අපට ඒවා සුරංගනා කතා....හිතින්  මවාගෙන රසවින්දා..එයාලා කොයිතරම් වාසනවන්තද  කියල හිතුවා.
ඒ ඒ කාලේ ...කාලය ගෙවිල ගිහින් .....ඒ අපි දැකපු සිහින හැබෑ උනත් .....මට මගේ රටේ දැනෙන සුවය "මෙහෙට පය තියපු දා ඉඳල දැනුනෙ  නෑ. (මං  මෙහෙට ඇවිත් තවම පොඩි කාලයයි .)තමන්ගෙ සිල්යලු බැදීම්  වලට සමු දීලා තමන්ගේ මව්බිමෙන් පිට ඉන්න බොහො අව්‍යාජ මිනිසුන්ගේ හදවත් ගැහෙන්නේ එකම රාවයකින් කියල මට හිතෙනවා...."කවදද ලංකවට යන්නේ"
හිතට ඒ හිතුවිල්ල ආවත් හිතු සැනින් ඒ ක ක්‍රියාත්මක කරන්න බෑ..හේතු  කාරණා ගොඩයි......

මෙහෙට පය තිබ්බ දවස් වල පුදුමකාර සීතලකින්  මාව හෙම්බත්  වුනා.....කෑමක් කටෙ තියන්නවත්  බැරි තරම්..(තවමත් මම හදන කෑම තමයි )කතා බහක් කරන්න කවුරුත්  නෑ..පුදුම පාලුවක්.... මුහුණ දුන්නෙම දුශ්කරතා වලට නොවුනට හිතට කිසිම පිරුණු බවක් දැනුනෙ නෑ... ඊලඟ මාසේ ලංකාවට යන්න වෙනව කියල "නිපුන" කීවම මට දැනුනෙ පුදුම තරමේ ආසාවක්....

අපේ   රට දිහා බලලයි සිංගප්පුරුව හැදුනෙ කියන එක "ප්‍රසිද්ධ කියමනක්නෙ.
ප්‍රර්ථනා කරන්නේ හදවතින්ම..... මගේ රට දියුනුවෙවා !! ඒ දියුනුව ආර්ථිකමය වශයෙන් විතරක් නොවේ ...සමාජයීය...ආගමික වශයෙනුත් ..විශේෂයෙන්ම ගහමරාගන්නා දේශපාල්නයෙන්ද...තොරවී..... යන සුභ ගමනක්  වේවා

උණුසුම සිසිල  සම ගුණයෙන් තියන මගේ  රට ඊලඟ ආත්මයෙත්  මට වාසනවන් !

Wednesday, October 12, 2011

යශ්ටියා......

අපි ඒ දවස්වල ඉස්කොලේ ජෙෂ්ට බාල දක්ශිකාවෝ..ඉතින් ඔහොම කාලයක් යද්දි ...අපටත් අනික් අයියලාට අක්කාලට වගේ "එක එක උණ ගන්නවනේ."අපටත් හැදුන උණ රෝග 2ක්.එකම මාසේ තිබුන වැදගත්ම වැඩ සටහන්.......
1.කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ  ශිෂ්‍ය නායක දිනය
2.------------------අනුස්මරණ ගවේශණ තරඟය- (හන්තාන  හයික් එක )
ඉතිං ඔන්න අපි යාලුවෝ ටික (මෙලෝ රසක් නැති පොත් කාවන් හලා දමා)යන්න තමයි ට්‍රයි එක.නැත්තම් කිසි ගතියක් නෑනේ.
අපි දැන් බලාගෙන ඉන්නව අපේ ඉස්කෝලෙට invitation letter එක එනකං
මිස් වටේ ට කැරකෙනවා.මිස් ට හරි සැලකිලි ඒ දවස් වල.අපේ බාලදක්ශිකා භාර මිසුත් බබා වගේ.එයා  අනේ මේ ලමයි  කොයිතරම් හොඳ බාලදක්ශිකාවන්ද??? කියල හිතල අපට එයාගෙන් සැලකිලි.හැමදේටම දැන් මිස් අපිට කත කරන්නේ.අපිත් පීරියඩ් එක කට් කරල හරි මිස් ගෙ වැඩේ කරනවා.

ඔන්න දැන් ලියුම ඇවිත්.එදා උදේම පීරියඩ් එකේ.මගේ අති ජාත මිතුරියෝ දෙන්න missing in action .ඔන්න ටික වෙලවකින් එනව දෙන්නා.හිනා කටයි...ඒ බං .හිකිස්.......හිකිස්......ලියුම ඇවිත්...ඔන්න ලියුම ආවා.ඊලඟට මිස්ට තියන බරපතලම වැඩේ යවන ලමයි තෝරන එක.ඒ දවස්වල තිබුන "රතුපොතේ" (මට නම මතක නැත ) බාහිර ක්‍රියාකාරකම්  ලියන්න තිබුන නිසා බල්ලයි,පුසයි,මියයි, හැමෝම මේක කලා.එත් සජීවි "අපි" තමයි.ඔන්න තරහ වෙලා,මුනු නොබලා,හිටපු කාලෙකුත් තිබුනා ඒකට යන්න ලමයි තෝරද්දි.
රවල ගොරවල රංඩු වෙලා ඔරවල  අපි යන්න සෙට් උනා හන්තන හයික් එක.අපි ගිය ගණන හරියටම මතක නෑ මට.ඉතිං යශ්ටි එහෙම හදාගෙන.උදේ පාන්දර 5 ට අපි ඉස්කොලේ ලඟට අවා

ඔන්න අපි ............... එකට ගිහින් එතනින් හන්තාන අඩවියට ගියා.එදා හරි වැස්ස දවසක්.කූඬැල්ලෝ පිරිලා...ඔන්න සුහද හදුනාගැනීමකින් පස්සෙ අපි හන්තාන නගිනවා. අපි එක එක තැන්වල තියන බාධක මැදින් යනවා.................සහොදර බාලදක්ශයන් අපේ ප්‍රශ්න අහනවා..අපි උත්තර දෙනවා.පාරවල් හොයාගෙන අපි ගමනේ,ඒ අතර හොඳටම වහිනවා.

ඒ මුල හරිය..බොහොම තැන්පත් විනීත අයියල ටිකක් තමයි අපට මුලිම හම්බ උනේ.ඔහොම යනකොට අතර මගදි සෙට් උනා අපට තව සහෝදරයෙක්.බොහොම තන්පත් පාටයි.
හන්තානේ යනකොට අපට හමුවෙනව හෙල් වගේ තැන්,ඒ  වගේ තැන් වලින් අපහසුවකින් තොරව යන්න තමයි අපි යශ්ටි ගෙනියන්නේ.
මෙන්න බොලේ මේ සහොදරයා අපට කියනවා....නංගිලා ඔය යශ්ටිය අයින්  කරන්න ,ඕක පාවිච්චි කරන හැටි ඔයාලට තෙරෙන්නේ නෑ.මං මේ හෙල බැහැල යට ඉන්නවා.ඔයල උඩ ඉඳල දුවන් එන්න බයවෙන්න එපා මං අල්ල ගන්නම්.අපිට ඕනෑ ඉක්මනට යන්නනෙ.

ඔන්න එක එක්කෙනා දුවගෙන යනවා සද්ගුනවත් සහොදරයා එයලාව අල්ලගන්නවා.(හිතන්නකො නංගියෙක් පල්ලමේ දුවන් ඇවිත් අයියව බදා ගන්නකොට ) ශොයි නේද ?
දුවගෙන ගිය පොඩි කෙල්ලන්ව අල්ලගත්තට මෙයාට අපේ  ටිකක් විතර සද්දන්ත යෙහෙලියක් දුවගෙන එනකොට අල්ල ගන්න බැරි උනා.. මෙන්න බොලේ දෙන්නම පෙරලි පෙරලි යනවා.......

ඒයි බං මු අපට යශ්ටි විසිකරන්න කිවේ ඇයි....ඒ චන්දි..හිකිස්,,,හිකිස්.....මුට කෙල්ලො බදා ගන්න..බලපන්කෝ...
තාම අපි උඩට වෙලා.....
ඒ දෙන්නා වැටුන වැටිල්ලට ..උඩට වෙලා ඉතුරු උන අපිව අල්ල ගන්න යශ්ටි අයියට ශක්තියක් තිබුනෙ නෑ.
අපි අතේ විසිකරපු නැති යශ්ටි  තිබුන නිසා (හොඳ වෙලාවට...)කකුල්වලලට පිං සිද්ධ වෙන්න හෙල තරනය කලා තනියම.ඒ වෙලාවෙ ඉදල මේ අයියගෙ නම "යශ්ටියා"......

දැන් ඉතින් අපට මේ යශ්ටියා  සෑහෙන්න තරමට කරදරයි.මෙයා බෙදන්න ගියාම හෝල් සේල් " අපට පිටුපසින්  ආපු (ප්‍රසිද්ධ බාලිකාවක් නුවර පලාතේ)
සහොදරියන්ටත් මෙයා හරි ලෙන්ගතුයි.මෙක  තරඟයක්නෙ .ඉතිං එහෙම කොහොමද ?
අපට මෙයා එක්ක මාරම තරහයි දැන්..ඒ අතර මෙයා චන්දිට ට්‍රයි කියලත් තෙරුනා.අර වෙලාවෙ චන්දි දුවගෙන මෙයා ලඟට අවෙත් නැති දුක මෙයාට තිබුනා පෙන්නුවෙ නැති උනාට.
අහගන්න ඕනෑ ටික අහගෙන අපි මෙයව හලල දන්න තීරනය කලා.
අපි මෙයව දාලා පණ එපා කියල දිව්වා

 (ඒ වෙලවෙ මෙයා අනික් බලිකාවෙ සහොදරියන් එක්ක )මෙන්න මෙයා ඉලඟ තැන
.....හයික් එකේ මතක ගොඩයි ලියන්න දිග වැඩී වගේ....ඉලග පොස්ට් එක වෙනකන් මතු සම්භන්දයි

Tuesday, October 11, 2011

නමක් නැත....(පාසැල් ප්‍රේමයක්ද නොවේ).........

මේ කතාවේ කතා නායකයා මගේ සහොදර පාසැලේ සාමාජිකයෙක්..එ දවස්වල මට තිබුනේ ආදරයක් නම් නෙවේ...එත් අපි දෙන්න හොද යාලුවෝ..
(එක පටන් ගත්තවිදිහ වෙන දවසක ලියන්න ඕනේ...)
 අපි දෙන්න ආදරය කලේ නම් නෑ.එත් new year card, Birth Day card ,Gift,අපි අතර හුවමාරු උනා.මගේ මේ යාලුකමට නමක්  හොයන්න අපේ සෙට් එකේ යාලුවන්ට අපි ඉස්කොලෙන් අස්වෙනකලුත් බැරි උනා.....
ඔහු....පාසැලේ "චරිතයක්" අපේ පාසැලේ නමගිය කෙනෙක්....
කොහොම නමුත් පාසැල් අතිතය සුන්දරයි
මගේ මේ x යාලුවා මට හම්බෙන්නේ හරිම කලාතුරකින්.එත් හම්බවුනත්  අපි කතා කරන්නෙත් නෑ.නොදැක්ක ගානට  යනවා...අනේ මංදා අපි ඇයි එහෙම කලේ??ඔහොම කාලයක් ගත උනා ම්ං එය ගැන දන්නෙත් නෑ.ඒත් හැමදාම මගෙ ඇස් එයාව හොයනවා.... හම්බුන දවසක මට කිවා එයත් එහෙමයි කියල...
ඔන්න දවසක් මං මගේ අතිජාත මිතුරිය එක්ක පෑනක් ගන්න කියල බාලිකාවට විරුද්ද පැත්තේ තියන බූක්ශොප් එකට ගියා.පෑනත් අරගෙන එලියට බැස්සා මොනවද කියව කියව කියව........මං  හොයපු.....මං  කලෙකින් නොදැකපු මගේ මිතුරා මගේ ඉදිරියේ....
මම ඉස්කොලේ ඉස්සරහද ඉන්නේ කියල මට අමතක උනා......ඔහු හිටියේ පාර මැද පාසැල් නිල ඇදුමින් බව ඔහුට අමතක උනා...ඔහු පාර මැද .... වාහන පෙලියක්...තදින් නලා වයමින් සිටියා.....ඔහු කිසිම දෙයක් නෑසු කන් ඇතිව මා හා සිනසුනා........ඒයි බං අරූට පිස්සුද මේ ඉස්කොලේ ඉස්සරහ......ඒ මගේ මිතුරිය...මට ඒ වගක්වත්  නෑ. 
මට දැනුනු හැඟීම...මට ම තෙරුනේ නෑ.....
ඔහුගේ පාපැදිය පාර මැද..බාලිකාව ඉදිරියේ,, වාහන පොලිමක්..ඔහුට පිටුපස......හිකිස්.....
පසුවදා එය 'හරිම ලොකු මාතෘකාවක්.අපේ නංගිලා සහ අපේ මිතුරියන්ගේ(ඒ වෙලාව පාසැල ඉවර උනු වෙලාව නිසා අපේ පාසැල් ගේට්ටුව ලඟ සු ...සූ.. ගාලා නේ හැමෝම )!

ඒයි  බං සුමු... මොකද්ද  බං ඔය මගුල ???? ඒ මගේ යෙහෙලිය චන්දි...
අනේ මංද බං....
මගේ මේ මිතුරා පාසැලේ හොඳ "BASKET BALL "PLAYER " කෙනෙක්..කාලයක් යද්දි මං යනකොට ඉස්කොලේ මගේ  මිතුරියෝ මාව අමතන්නේ ඔහුට පාසැලේ අමතන CARD  එකින්...එහෙමත් නැත්තම් "GO BASKET GO" හිකිස්....මමත් ඉතිං ඒ දවස්වල හරිම ආසයි....එහෙම කියනවට.ඒත් ඒක ම්ං කාටවත් පෙන්නන්න ගියේ නෑ.
අපි දෙන්නටම වගක් වත් නැතිව කාලය ගත උනා
ඔන්න එදා සෙනසුරදා දවසක්..අපි CLASS  යන්න සෙට් වෙන්නේ චන්දි මගේ අතිජාත මිතුරියගේ ගෙදරට.

ඔන්න මගේ මිතුරගේ උපන්දිනය....කාලයක් තිස්සෙ මං බලාගෙන හිටියේ එදාට ටිකක් කතා කරන්න

හිටපං බං අද අපි ඌට විෂ් කරමු.....   ඒ චන්දි..........
යෙහෙලියො කොයිතරම් හිටියත් "චන්දි"නැත්තම් එතන කිසි ගතියක් නෑ.ඒයා සෙට් වෙන තැන පාලුවකුත්  නෑ.හැබැයි ඉඳල හිටල මොංගල් වැඩත් කරනවා අපරාදේ  කියන්න ඕනේ නෑ


ඔන්න චන්දි call  එක ගත්ත කියමුකෝ.......කල් යල් බලලා ගත්තත් දුරකතනයට පිලිතුරු ඔහුගේ පියාගෙන්"

පියා සැර පරුෂ පුද්ගලයෙක් කියල තමයි මගේ මිතුරා මාව දැනුවත් කරල තිබුනේමෙහෙමයි සංවාදය යන්නේ
හෙලෝ!
යෙස්
මට --- කතා කරන්න පුලුවන්ද?
(මිත්‍රශිලි නොවන හඩකින්)

කව්ද මේ කතා කරන්නෙ??

මගේ මිතුරාගේ පියා(මෙහෙම කියන එක හරිද මංදා....ඔහු බ්ලොග් බලන්නෙත් නැති හින්දා කමක් නෑ වගේ ඉතිං)ස්ත්‍රී පාර්ශවයට ටිකක් කැමති කෙනෙක්...චන්දි ඒක දන්නේ ඔවුන්ගේ පවුල්  අතරේ දැන ඇඳුනුම් කමක් තිබුනු නිසා .
ඇගේ කට හඬ වෙනස් කරපු ඇය මෙහෙම කිවා .(අපි මමයි,නිමන්තිකායි හොල්මං වෙලා)
මම සජිත ගේ අම්මා....(මිහිරි ස්වරයෙන්)

මේ ‍mr.ජයවර්දන වෙන්න ඇති.. 
(සිනා)අපේ පුතා ගැන පොඩ්ඩක් කතා කරන්න,,,

එයා subjects  මාරු කරන්න හදනවනේ.පුතා එයාගේ යාලුවෙක් නේ (සිනා)... ඒකයි ගත්තේ.......(හිනාවක්...)

අනේ කරදරයක්ද දන්නේ නෑ......
ආ........ඕක මොකද්ද......(ඉතා ලයාන්විතව)ඉන්න ....මං පුතාට දෙන්නම්....

පුතා මෙන්න ඔයාට call  එකක්..ඔන්න දැන් මිතුරා ආව කියමුකෝ....දැන් මං කතා කලා.විශ් කලා.දුරකතනය විසන්දි උනා.

ඊට පස්සේ මගේ මිතුරා සහ ඔහුගේ පියා අතර යන සංවාදය මෙහෙමයි....

මොකටද ඒ ලමය SUBJECT මාරු කරන්නේ (ඔහු හොල්මං වී බලා සිට දුන් පිලිතුර ....අනේ මංදා)

එතකොට කාගේ  අම්මද ඔය කතා කලේ ?( නැවත ඔහු හොල්මං වී දුන් පිලිතුර මොන අම්මද???)

ආ දැන් තමුසෙගෙ කෙල්ල මාව ගොනාට අන්ඳන්නත් එනවද?? එක රෑයින්  එලිවෙන්නෙ නෑනේ ...ආයෙත් මට හම්බෙයිනෙ
ඔහුට එහෙම අකරතැබ්බයක් උනාට (තැනට සුදුසු විදිහට මොලේ පාවිච්චි  කරන්න අපි දැනගෙන හිටියා) අපිට නම් හරි ජොලි.......එදා ඉඳල චන්දි ට අපි කියන්නේ "mrs ජයවර්දන කියල"

Friday, October 7, 2011

REPORT එක

වාර විභාගය කාලය කියන්නෙ මහමහා එපාම කරපු කාලයක් .ඒ කාලේ ඉවර උනා කියමුකො ඊටපස්සෙ එන්නෙ විභාගෙට ලියපුව දිරවගන්න බැරිව ඉද්දි  , ගෙදරින්  "ලමයො ගණිතයට ලකුණු කියද?,විද්‍යාව ලෙසිනම් ලකුණු තියේ නේද,පොතක් අතින් ඇල්ලුවෙ නැතිව නට නටා හිටපුවගෙ රඟේ බලන්න බැරියැ කියල "අම්මා ජප කරන මන්තරේ.....
එක අහගෙන සද්ද නැතිව ඉන්න මට නම් හරිම අමාරුයි.එත් එ වගේ  නොවටිනා මාතෘකාවක්  නිසා එකට එක කියන්න ගිහින් අතට අහුවෙන මොනවගෙන්  හරි පාරක් නිකන් බොරුවට කන්න ඕනි නැති නිසා මං සද්ද නැතිව ඉන්නවා.(දැන් වගේ අහිංසක ගති  අපේ අම්මට මන් පුංචිකාලේ තිබුනේ නෑ.)  
ඉතින් වාර විභාගේ ලකුණු ටික දාල විතර ක් නොනැවතී  දෙමව්පියන්ගෙ අත්සනත් දාගෙන එන්න කියල දෙන "ශිෂ්‍ය ප්‍රගති වර්තාව" ගැන අපේ අම්ම වගේම අනිත්  අම්මලත් බොහොම උනන්දුයි.ඒක අපට දෙන්නේ වාරයක් අවසාන වෙලා නිවාඩුවට ගෙදර යනකොට, ඊලඟ වාරේ එද්දි දෙමව්පියන්ට පෙන්නල අත්සන් කරගෙන එන්න කියල.....
ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.....
ඒ කාලේ අපි හිටියෙ 9 ය වසර පංතියේ.
ගණිතය කියන්නේ පුන්චිම කාලේ ලකුණු ගොඩක් ගත්ත හැබැයි ලොකු පංතිවලට එද්දි ලකුණු අඩුවෙලාම ගිය මං  අකමැතිම විෂයක්.මෙදා සැරේ මට ලකුණු 50ටත්  වඩා අඩුවෙලා. ඉතින්  දෙවියනේ ගුරුවරියක් උණු අපේ  අම්මට REPORT  එක පෙන්නනෙ කොහොමද මං....
ඔන්න ඉතින් මං REPORT එක ගෙදරට පෙන්නන එක හිතින් අත ඇරල ගෙදර ගියා.REPORT  දුන්නද ?  කී වෙනියද? ලකුණු කෝ ? අපේ අම්මා...REPORT  දුන්නේ නැ අද..ගණන් මිස් ට මල ගෙයක් වෙලා.අපේ PAPERS බලන්න බැරි වෙලා...කව්ද මැරිල තියෙන්නේ? ගණන් මිස්ගෙ මහත්තයගෙ අම්මා.ද කො..ආආආආ
 ඇත්තද එහෙනම් මලගෙදර යන්නවෙයි.
මොකා.. ද්ද ??? ඇයි ඒ ?? ඔයා කොහොමද අපේ ගණන් මිස්ගෙ මහත්තයව දන්නෙ අම්මේ.....මං  හිතුවා මගේ බොරුව අම්මට තේරිලා නිකන්  අහනව කියල ..
ඇයි අනේ අපේ සෙමිනාර්ස් වගේකට අවා කියල මං කිවෙ  ඔයාට .දැන් එයා අපේ කලාපේ අධ්‍යක්ෂක නේ .....මාව දැන් ශෝක් එකට cool වෙලා.... අපේ අම්මා එහෙම කිවා කියල මට පොඩ්ඩක්වත් මතකයක් තිබ්බනම් මං බොරුවක් කියන්නෙ නෑ එයාට....
දැන් ඉතින්  මිස්ලව මාරු කරන්නද ???? දස අතේ මං කල්පනා කරනව මොකද කරන්නෙ කියල....එ දවස් වල අපේ ගෙදරට teliphone තිබ්බෙ නෑ.නැත්තම් අපේ අම්මා එයාගේ යාලු ටිචර් ඇන්ටිලට මේ  මං එයාට දුන්නු  අරන්චිය දීලා.
ඒ කතාව එතනින් නතර උනා .. මෙන්න අපේ අම්ම උදේ පාන්දර අප්පච්ච්ට කියනවා ----- සර් ගේ අම්මා නැතිවෙලා ලු අද මල ගෙදර යන්න වෙනවා.මං අනෝමා නංගිටත් කියාගෙන ම එයත් එක්ක යනවා කියලා

දැන් ශෝක්.... මට...මොනවා කියල කරන්නද දැන්...උදේ පාන්දර නිදා ගන්නත් නෑ..
අම්මේ මගෙ ඔලුව හොදටම රිදෙනවා... කියාගෙන මං  නැගිට්ටා.,,,,
උදේ කිරි එකත් බොන ගමන් බොරුවට එලියට ගිහින් -------දැම්ම..ආයෙත් සැරයක්...ටූත් බ්‍රශ් එකට  පිංසිද්ද වෙන්න.ඊට පස්සෙ අයෙත් බොරුවට දෙතුන් වතාවක්  එහෙම සද්දෙට ---- කලා.ඇයි පුතේ..??? බඩත් රිදෙනවා..----- යනවා..ඔලුවත් රිදෙනවා..
අප්පච්චි මෙන්න "ලොක්කට " වමනෙ යනවා ..මොනාහරි ජරාවක් තියෙන්න ඇති ඔයා ඊයෙ ගෙනාපු කොත්තු රොටී වල..මං කියනව හැමදාම ඕව ගෙන්න එපා කියලා...දැන් ඉතින් බෙහෙත් ගන්න යන්නත් වෙනවා.ඔයා එහෙනම් ඇදගෙන අප්පච්චි එක්ක යන්න. "පිස්සු කත කරන්න එපා මගේ රස්සාව එක්ක සෙල්ලම් කරනවද ?  අද මට චන්ද ලයිතු ටික ඔක්කොම එකතු කරන්න තියනවා..අප්පච්චි කිව හොද වෙලාවට..මං කොහොමත් දන්නව මේ දවස් ටිකේ එයා හරි busy  කියලා.
ඇඳ ගන්න මං එක්ක යන්න බෙහෙත් ගන්න.අද මල ගෙදර යන්න වෙන්නෙ නෑ   නේද අම්මේ... මං දුකින් වගෙ ඇහුවා.හා එහෙ....ඔව් දැන් යන්න බෑනේ.
මැරිල තියෙන්නෙ බදාදා ද කොහෙද.අද අන්තිම දවස වෙන්න ඇති.අයෙත් මං හෙටත් මෙ වගේ රඟ පාන්න බැරිම හින්ද තවත් බොරුවක් කිවා....බෙහෙත් ගන්නත් ගියා....බෙහෙතුත් දුන්නා.....සැනසිල්ලේ ගෙදර අවා...හොදට  නිදා ගත්තා.....
ඒත් පස්සෙ මට මෙ බොරුව හරිම upset  මංදන්නව ඊලගට අම්ම හම්බෙන හැමොටම මේක කියන හින්දා..
ඊටත් වඩා අර සර්ට ශෝකය ප්‍රකශ කලොත්  අපේ අම්මා  පත් වෙන අපහසුතාවය??? බොරුවක් හදා ගන්නත් කලින් .......අපේ අම්මට හොද වෙලාවට කව්ද  කෙනෙක් හම්බෙලා .
සුමු....කියාගෙන අම්මා අව .... ------- සර් ගෙ අම්ම මැරිල කියල කිවේ කව්ද ????....මම-අපේ පංතියෙ ලමෙක්....හා එහෙනම් මට ඇත්ත කියනවා REPORT එක දුන්නද නැද්ද...??? තමුසේ මට බොරු කිව නේද?ඔන්න දැන් අපේ අම්ම අඬනව...මං බලාගෙන ඉන්නවා.......... එදා මං ගියානම්  එහෙ??? කාට හරි කිවානම්..ඉන්නවකො අප්පච්චි එනකන් අද ඉල්ලල දෙන්නම්......මට හිතට දැනුනෙ ලොකු සන්තොෂයක් (ලැජ්ජාවෙ පනගිහින් හිටියේ එක අමතක කරල ඇහුව අම්මෙ කව්ද හම්බුනෙ ? )

Thursday, October 6, 2011

ශිල්ප උගත්තෙමු නැණ ලැබගත්තෙමු.......

දිගු ජීවිත ගමනේ සොදුරු නවාතැන්පොල කොහෙද කියල ප්‍රශ්නයක් ඇහුවොත් අපෙන් අපි උත්තර දෙන්නේ එකම එක වචනෙකින් "පාසැල් කාලය"
කොයිතරම් සුන්දර පාසැල් සමයක් අපි හැමොටම තිබුනද?.කොයිතරම් බැනුම් අහල,දඩුවම් විදල  තිබුනත් කවදහරි අයෙමත් යන්න ලබුනොත් කිසිම හිතේ අමාරුවක් නැතිව ගිහින් එන්න කැමතිම තැනත් එතන...මම විතරක් නෙවේ...අපි හැමොම.............
රමණීය කුරුණෑගල නගරය "අතිරමණීය" අ "අතිඅලංකාර  උනේ අපේ බාලිකාව නිසා...ඉතින්  පුරා වසර 13 ක කාලයක් නිත්‍ය යාව ජීව ආදර්ශමත් බාලිකාවක් විම මට කෙතරම් අඩම්බරයට කරුණක්ද ?
බාලිකාව ගැන මතකයට එද්දි  ඒ හා බැදුනු අපේ සොදුරු අතිත කතා කොතනින් පටන් ගන්නද ?

පුන්චිම පුන්චි කාලේ අවුරුදු 6ක්  පිරුනම අපෙ අම්මයි  අප්පච්චි නමෝවිත්තියෙන් මාව මලියදෙව බාලිකාවට  භාර දුන්නේ "හොදට ඉගෙන ගන්න පුතේ කියල"
අනේ මන්දා ඉස්කොලෙට භාරදුන්න වෙලාව හොද නැති හින්දද,ඒ කාලෙ ඉදලම හම්බුනු යාලුවො හොද නැති හින්දද කොහෙද අම්මල කියපුම තරම් හොදට ඉගෙන ගන්න බැරි උනා...යන්තම් DIGREE  එකක් නම් ගත්ත එයාලගෙ හිත සනසන්න(එයාල හොදට ඉගෙන ගන්න කියන්නේ දොස්තර නෝනා කෙනෙක් වෙන්න එහෙමත් නැත්තම් ඉංජිනේරු නොනා කෙනෙක් වෙන්න)
අනේ ඇත්තටම මහන්සිවෙලා පාඩම් කරල කවදාවත් මං විභාගයක් ලියුවෙ නැද්ද කොහෙද?

බාලිකාවෙ අපි ගෙවුවෙ හරිම සොදුරු කෙලිලොල්  ජිවිතයක්...හරිම සැහැල්ලුවෙන්..පුන්චි කාලේ  1ක වසරේ ඉදල උසස් පෙල වෙනකල් මට තිබුණෙ මිණි කිංකිණි කටහඩක්..ඉතිං කවදා කොහොමද කියලා මතක නැති උනත් කවුරුහරි ඊරිසියාවේ බැරිව මට "ඝන්ටා" කියල නමකුත් දාලා !!!!

රණ්ඩු වෙන්න උපන් හපන්කමක් මට තිබුනා.සාම කතා බොහොම අඩුවෙන්,,, හැමදාම නැති උනත් කාලෙන් කාලෙට යාලුවො මාරුවෙනවා එ දවස් වල.හැබැයි 6 වසරට ආවට පස්සෙ ටිකක් රන්ඩු වෙන එක නැවතිලා එකම යාලුවෝ සෙට් එකක් සෙට් උනා.අපි ඔක්කොම "SEDULTEF(M)" කියලා අපේ නම් වල මුල අකුරු වලින් හදා ගත්තා කණ්ඩායමක් ...ඉතින් එ දවස්වල අපි ඉන්න පෙලියේ ඩෙස් 3යි.අපෙ ටීම් එකෙ 9යි.පෙලි 3 ඒවා 3යි.තරහා වුනොත් අපි කරන්නෙ පේලි 3න් එකකට මාරුවෙන එක.

6 වසර ඉදලා සාමාන්‍ය පෙල  වෙනකල්ම පංතියෙ හිටියේ එකම යාලුවො සෙට් එකක්.අපේ  පන්තිය "කෑ ගැසීමට උපන් හපන්  දක්වන,විනයක් දක්නට නොමැති නමුත් ඉගෙනිමට දක්ෂ,විෂය බාහිර ක්‍රියා කාරකම් සදහා පැන පැන  පංති  CUT කිරිමට කැමති..ශිෂ්‍යාවන්  සිටින තැනක් හැටියට තමයි ප්‍රසිද්ධ.

මෙතැන් පටන් පිටු කිහිපයකින්  දිග හැරෙන්නේ ඒ කාලේ රස කතා

Wednesday, October 5, 2011

මට ලියන්න හිතුනෙ ......

ඉස්සර ඉන්දලම මට ඉතුරු කරගන්න බැරි වස්තු  දෙකයි තිබුනෙ ... එකක්  ලොකයෙ ඇතිවත් බෑ නැතිවත් බෑ කියන ...දෙවියන්ගෙ මල්ලි කියලත් කියන "සල්ලි...." අනික  රන් හා සමානයි කියන, නිස්කාරනෙ කා දමන්න එපා කියන 'කාලය" ,
තාලෙ වෙනස් වෙලා.... කාලෙ අලුත් වෙලා ....මට දැන් කාලය ඕනෙවටත් වඩා වැඩි වෙලා.......
දවසක් අහම්බෙන් අන්තර්ජාලයෙ සැරිසැරුවෙ කම්මැලිකමට.....
හදිස්සියෙ මට මුන ගැසුනෙ අභීත අයියගෙ මුණු පොත,,,
කාලෙකින් විස්තරයක් දන්නෙ නැති හින්ද මමත්  බැලුව නිකමට.....
"සදාදරනීය ජෝ අන්කල්ට ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ලියන අභීත ගෙන් ලියුමක්..."
 ඒ වෙලාවෙ මමත් බැලුව  ලියුම තියන ලින්ක් එකට ගිහින්,,,,,,
ඇත්තටම එතනින් මම නැවතුනෙ නෑ...අභීත අය්යගෙ හැම කතාවක්ම රසවින්දා...
මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න...
ඉතින් ඔන්න මම අද පටන් ගන්නව එදා මෙදා තුර හැම රස කතාවක්ම .....
ලියන්න....
අභීත අය්යා මෙන්න ඔයාට මගෙන් මල් මිටක්.......